ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී අද (08) පෙරවරුවේ සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ මෙය දිවි නසාගැනීමක් විය හැකි බවට සැක කරන බවයි.
ඔහුගේ මළසිරුර කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක දෙවන මහලේ කාමරයක තිබී හමුවී ඇත. සිරුරේ ගෙල ප්‍රදේශයේ රෙදි පටියක කොටසක් තිබී ඇති අතර, කාමරයේ දොර අසලද රෙදි පටියක් සවි වී තිබූ බව පොලිසිය පවසයි.
කපිල චන්ද්‍රසේන මහතා ඊයේ රාත්‍රියේ එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර, අද අලුයම ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි. කෙසේවෙතත්, මෙය සියදිවි නසාගැනීමක්ද නැතිනම් වෙනත් අපරාධයක්ද යන්න පිළිබඳ කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සිදුවී ඇත්තේ, ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළ පසුබිමකය. 2013 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබුණි.
මෙම නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, මැයි 05 වනදා ඇප මත මුදාහැරුණි. නමුත් ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමේදී ව්‍යාජ පුද්ගලයින් ඉදිරිපත් කළ බවට චෝදනා මතුවීමත් සමඟ ඔහු යළි අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.
අද පෙරවරුවේ නීතිඥවරයෙකු ඔහු හමුවීමට නිවසට පැමිණි අවස්ථාවේ, කාමරයේ දොර විවෘත කිරීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා බිම වැටී සිටින අයුරු දැක ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.