Breaking

Post Top Ad

Saturday, May 2, 2026

කුරිරු ලෙස ඝාතනය කල ඩයනාගේ සිරුර දෙනගමුව ඇළෙන් හමු වෙයි

පසුගියදා පස්වරුවේ කුරිරු ලෙස ඝාතනයට ලක්වූ “ඩයනා”ගේ සිරුර, සමන්පුර ප්‍රදේශයෙන් ගලා බසින දෙනගමුව ඇළට දමා තිබියදී දොරටියාව පොලිසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පලතුරු වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සඳහා මූලික වී ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරෙකු ලබාදුන් තීරණාත්මක තොරතුරකි.

විමර්ශන අනුව හෙළිව ඇත්තේ, නීතිවිරෝධී ගංජා ජාවාරමකට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සිය මිතුරෙකුට ඇප තැබීම සඳහා කුරුණෑගලට පැමිණි සැකකරු, පසුව ඩයනාගේ සේවය ලබාගැනීමට එකඟ වී ඇති බවයි. රුපියල් 2,500ක මුදලක් මුලින් එකඟතාවකට පැමිණියද, තමන් වයස්ගත බව සඳහන් කරමින් ඩයනා විසින් ඔහුගෙන් ලබාගෙන ඇත්තේ රුපියල් 1,000ක් පමණක් බවද අනාවරණය වී තිබේ.

සැකකරුගේ ප්‍රකාශය අනුව, සමන්පුර ප්‍රදේශයේ ලැගුම්හලකින් පිටවීමෙන් පසු ඇයව නැවත නොදුටු බවත්, තමන්ට ඇති වූ උදරාබාධයක් හේතුවෙන් ඇළට බැස ශරීර කෘත්‍යයක් කළ බවත් ඔහු පවසා ඇත.


එහෙත්, සිද්ධියට නව හැරවුමක් ලැබුණේ ත්‍රිරෝද රථ රියැදුරෙකු කළ හෙළිදරව්වකින්ය. ඔහු පවසන්නේ මහ වැසි මැද පිටාර ගලමින් තිබූ දෙනගමුව ඇළ අසල සැකකරු සහ ඩයනා අතර යම්කිසි පොරබැදීමක් සිදුවන ආකාරය තමන් දුටු බවයි. ඒ අනුව මුදල් ආරවුලක් හෝ වෙනත් ගැටුමක් දුරදිග ගොස් ඇයව දියේ ගිල්වා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ඩයනා යනු හුදෙක් වීදි සරන කාන්තාවක් පමණක් නොවූවාය. අසූව දශකයේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය වූ ඩයනා කුමරියගේ කොණ්ඩා මෝස්තරයට සමාන “ඩයනා කට්” රටාවකින් සැරසී මේ වෘත්තියට පිවිසි ඇය, කාලයත් සමඟ කුරුණෑගල නගරයට අමුතුම චරිතයක් බවට පත්විය.


ඇගේ සැබෑ නම හෝ ගම්පළාත නිශ්චිතව කිසිවෙකු නොදැන සිටි අතර, ඇතැමුන් ඇය කෙළිමුනේ ප්‍රදේශයේ පදිංචිකාරියක බව පවසන නමුත් ඒ බව තහවුරු වී නොමැත.


එහෙත්, ඇගේ ජීවිතයේ අනිත් පැත්ත වඩා සංවේදී එකක් බව නගරවාසීහු කියති. මුදල් පසුපස පමණක් නොගිය ඇය, නගරයේ නිකරුණේ රස්තියාදු වන පාසල් සිසුන්ට අවවාද කර නිවෙස්වලට යැවීමටත්, කුඩා දරුවන්ට සහ තරුණයන්ට කිසිවිටෙකත් තම සේවය ලබා නොදීමටත් තරම් ප්‍රතිපත්තිගරුක වූ බව ඔවුන් සඳහන් කරති.


සමාජ මාධ්‍යයේ ඇතැම්විට ඇය හාස්‍යයට ලක්වුවද, ඇගේ ජීවිතය පිටුපස සැඟවී තිබුණේ ගැඹුරු වේදනාවක් සහ අසරණකමක් බව පෙනේ.


ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහනක සඳහන් වූයේ, දිනක් දන්සලකින් බත් පාර්සලයක් ලබාගත් ඇයගෙන් “තවත් එකක් ඕනෙද?”ැයි විමසූ විට, “මම දෙකක් කෑවොත් තව කෙනෙක් බඩගින්නේ ඉන්න වෙයි නේද පුතා” යනුවෙන් ඇය පිළිතුරු දුන් බවයි.


එය සමාජයේ පහළම ස්ථරයේ ජීවත් වූවත්, ඇගේ හදවතේ තිබූ මනුෂ්‍යත්වය සහ සංවේදීභාවය පිළිබිඹු කරන සිදුවීමක් ලෙස සැලකේ.


තරුණ වියේදී මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමක් හෝ අසරණ තත්ත්වයක් හේතුවෙන් ජීවිතයේ මේ මාවතට පිවිසි ඇය, සමාජයේ විවිධ ගැරහුම් මැද තනිවම ජීවිතය ගැටගසාගෙන ආවාය.


එහෙත්, කිසිවෙකුගේ බත්පතක් උදුරා නොගත් ඒ අසරණ ගැහැනියගේ අවසන් හුස්ම අඳුරු දිය දහරක් යට මෙලෙස අමානුෂික ලෙස නිමාවීම, සමාජයට ඉතිරි කරන්නේ කඳුළු පිරුණු නිහඬ ප්‍රශ්නාර්ථයකි.

Post Top Ad

Pages