වතුර බෝතල් අලෙවි කරන බවට පෙනී යන ආකාරයට මිලි ලීටර් 375 බෝතල්වල නීතිවිරෝධී මත්පැන් පුරවා, සීල් කර විකිණූ මහා පරිමාණ ජාවාරමක් දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අනාවරණය කරගෙන තිබේ.
මහර, දලුපිටිය ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරගෙන පෙරේදා (28) සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම හෙළිවූ බව සුරාබදු ඒකකය පවසයි.
එහිදී වතුර බෝතල් ලෙස වංචනිකව සකස් කර තිබූ, කසිප්පු පිරවූ මිලි ලීටර් 375 බෝතල් 28ක් සොයාගෙන අත්අඩංගුවට ගත් බවද සුරාබදු නිලධාරීහු සඳහන් කරති. ඒ තුළ තිබූ මුළු නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් 10,500ක් බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ඒ. එන්. පේමරත්නගේ නියෝග මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරී පී. එන්. හේමන්තගේ උපදෙස් අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායකගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක දිසානායක, සැරයන් අනුර, කෝප්‍රල් රත්නායක (669), නියාමකවරුන් දුලාන් (694) හා පැතුම් (1198) සහ රියදුරු දුමින්ද ඇතුළු නිලධාරීහු මෙම මෙහෙයුමට එක්වූහ.