Breaking

Post Top Ad

Saturday, March 21, 2026

මඩකලපුවේ දී පැහැරගත් කාන්තාවට පහර දී පාලු ළිඳකට දාලා - ඒ ළිදෙත් තව මළ සිරුරක්

 

මඩකලපුව වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගත් කාන්තාවක් නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගත් බව වාර්තා වේ.


එම ළිඳ තුළම තවත් කාන්තා මළසිරුරක් ද සොයාගෙන තිබෙන බවද සඳහන් වේ.


ළිඳ තුළින් කාන්තාවකගේ විලාප හඬක් ඇසීමෙන් පසු ප්‍රදේශවාසීන් එය සොයා බැලූ අතර, ඇය දියේ ගිලෙමින් සිටින බව හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඇයව බේරාගෙන ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


මූලික පොලිස් විමර්ශන අනුව, මෙම කාන්තාව කොත්තියාපුලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුරුගමූර්ති රනුජා බව හඳුනාගෙන ඇත.


ඊයේ දින ඇය තම දියණිය සමඟ ගමන් කරමින් සිටියදී පිරිසක් විසින් පැහැරගෙන ගොස්, දියණියව පසෙකට විසි කර රනුජාට පහර දී මෙම ළිඳට දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.


ඇය ලබාදුන් තොරතුරු අනුව, එම ළිඳ තුළින් තවත් කාන්තා මළසිරුරක් සොයාගැනීමටද හැකි වී ඇත.


පොලීසිය සැක පළ කරන්නේ එම මළසිරුර පසුගිය මාසයේ වෙල්ලාවෙලි පොලිස් බලප්‍රදේශයේ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයෙන් අතුරුදන් වූ කාන්තාවකගේ විය හැකි බවයි.


සිද්ධිය වූ ස්ථානයේ තිබූ පාවහන් මත ඥාතීන් ඇයව හඳුනාගෙන ඇතත්, නිශ්චිත අනන්‍යතාව තහවුරු කිරීම සඳහා මරණ පරීක්ෂණ සහ DNA පරීක්ෂණ සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

Post Top Ad

Pages