යාපනය විශ්වවිද්‍යාලයේ 54 හැවිරිදි කථිකාචාර්යවරියක වූ තයාරාණි තීපන් මහත්මිය පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කළ බවට අනාවරණය වූ කම්පනකාරී සිදුවීමක් මේ දිනවල යාපනය ප්‍රදේශයම හෙල්ලවමින් පවතී. මෙම අපරාධය ඇගේ බෑණා විසින් සිදු කර ඇති බව හෙළි වී ඇති අතර, සිදුවීම සිදුවන අවස්ථාවේදී ඇගේ දියණියද එම ස්ථානයේ සිටීම සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
සිය සැමියාගෙන් වෙන්ව පාණ්ඩියන් තාල්වු ප්‍රදේශයේ දියණිය සමඟ ජීවත් වූ මෙම කථිකාචාර්යවරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඇගේ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියි.
පොලිස් විමර්ශන අනුව මෙම ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවට තහවුරු වී තිබේ. මියගිය කථිකාචාර්යවරියගේ 19 හැවිරිදි දියණිය සහ 21 හැවිරිදි සැකකාර තරුණයා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයකින් ඔවුන් ලියාපදිංචි විවාහයකට එළඹ තිබුණද, බෑණාගේ හැසිරීම් පිළිබඳව මව තුළ අසතුටක් පවතින ලදී. එම හේතුවෙන් මවගේ උපදෙස් මත දියණිය විසින් දික්කසාද නඩුවක් ගොනු කර තිබූ අතර, සිදුවීම සිදුවන අවස්ථාවේදී එය අධිකරණයේ විභාග වෙමින් පැවතිණි. මීට පෙරද සැකකරු නිවසට පැමිණ කලබල ඇති කළ අවස්ථාවක් හේතුවෙන්, ඔහුට එම නිවසට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.
කථිකාචාර්යවරිය සහ ඇගේ දියණිය අතුරුදන් වී ඇති බවට පුත්‍රයා විසින් යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ විය. නිවස පරීක්ෂා කිරීමේදී වහලයෙන් ඇතුළු වූ බවට සැක පළ කරන ලකුණු සහ කපා දැමූ කෙස් රොද සොයාගැනීමට පොලිසිය සමත් විය. ඉන් අනතුරුව පුත්‍රයා තම නැගණියගේ ජංගම දුරකථනය භාවිත කළ ස්ථාන සහ ATM ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබාගෙන පොලිසියට ලබා දීමෙන් විමර්ශන වේගවත් විය.
මෙම තොරතුරු අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී QR කේතය භාවිත කර ඉන්ධන ලබාගෙන ඇති බව හෙළි වූ අතර, CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් යාපනයට රැගෙන එන අතරතුර මව පිළිබඳ තොරතුරු හෙළි නොකළද, පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී දියණිය විසින් සැමියා මව ගෙල සිරකර ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත.
ඝාතනයෙන් අනතුරුව මියගිය කාන්තාවගේ රන් ආභරණ ත්‍රිකුණාමලයේ උකස් කර ඇති බවද හෙළි විය. දියණිය ලබාදුන් තොරතුරු අනුව මළ සිරුර නාවත්කුලි සහ අරක්කුවලි අතර ප්‍රදේශයක පඳුරකට විසි කර තිබූ අතර, දිගු සෝදිසි මෙහෙයුම් වලින් පසුව එය සොයාගැනීමට හැකි විය.
පසුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලදී. පුත්‍රයාගේ කඩිනම් ක්‍රියාමාර්ග නොවන්නට මෙම අපරාධය හෙළිවීමට තවත් කාලයක් ගතවීමට ඉඩ තිබුණි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධ අපරාධ වර්ධනය වෙමින් පවතින පසුබිමක, උගත් කථිකාචාර්යවරියකට මෙවැනි කෲර ඉරණමක් අත්විඳීමට සිදුවීම යාපනය ප්‍රදේශයේ ජනතාව අතර දැඩි බිය හා කම්පනයක් ඇති කර තිබේ.
