මඩකලපුව කොක්කඩිචෝලෙයි පොලිස් වසමට අයත් නෙල්ලිකාඩු කුඹුරු යායේ පිහිටි පාළු ළිඳකින් ජීවමානව බේරාගත් තරුණ මවක් සහ එම ස්ථානයෙන් සොයාගත් තවත් කාන්තා මළ සිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමඟම ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම සැකකරුවන් මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ තවත් මංකොල්ලකෑම් කිහිපයකටද සම්බන්ධ බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා (19) දින වවුණතිව් ප්‍රදේශයෙන් මඩකලපුව නගරයට වයස අවුරුදු දෙකහමාරක දරුවා සමඟ පැමිණි මෙම තරුණ මව අතුරුදන්ව තිබූ අතර, පසුදින ඇය නෙල්ලිකාඩු ප්‍රදේශයේ පාළු ළිඳක තුළ ජීවිතය සහ මරණය අතර සටන් කරමින් සිටියදී සොයාගෙන ඇත. එමෙන්ම ඇයගේ කුඩා දරුවා කුඹුරු යායේ අතහැර දමා හඬමින් සිටියදී සොයාගත් අතර, එම ළිඳ තුළ දැඩි ලෙස නරක් වූ තවත් කාන්තාවකගේ මළ සිරුරක්ද පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැය 24ක් ඇතුළත කාංචිරම්කුඩා ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ සැමියාගේ සහෝදරයා ඇතුළු තිදෙනෙකු වවුණතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, වවුණතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල බස් රථයක් බලා සිටි මෙම තරුණ මව සහ ඇයගේ දරුවාට සැකකරුවන් තම ත්‍රිරෝද රථයෙන් ගමන් පහසුකම් සලසා දී ඇති බවයි.
නගරයට ගොස් උකස් කර තිබූ රන් භාණ්ඩ ලබාගෙන නැවත පැමිණෙමින් සිටියදී, සැකකරුවන් විසින් ඇයට සිසිල් බීමක් ලබාදී සිහිසුන් කර, පවුම් පහක තැලි කොඩියක් සහ පවුමක රන් මාලයක් කොල්ලකෑ බව අනාවරණය වී තිබේ. අනතුරුව දරුවා කුඹුරේ අතහැර දමා, මව ළිඳට දමා තිබෙන බවත්, කොල්ලකන ලද රන් භාණ්ඩ සැකකරුවන් විසින් උකස් කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
එමෙන්ම ළිඳ තුළින් සොයාගත් අනෙක් කාන්තාවද මෙම සැකකරුවන් විසින් ඝාතනය කර දමා ඇති බවට පොලිසිය සැක පළ කරයි. එම මළ සිරුර වෙල්ලාවෙලි පොලිස් වසමට අයත් වම්මියඩිඋත්තු ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රවි නළායිනි නමැත්තියගේ බවට ඇයගේ පාවහන් මගින් ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව එය නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතය.
මේ අතර, තවත් මළ සිරුරු ළිඳ තුළ තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් යටතේ, ප්‍රාදේශීය සභාව සහ ආරක්ෂක අංශවල සහාය ඇතිව ළිඳේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කර පරීක්ෂා කළද, වෙනත් කිසිදු සිරුරක් එහි නොතිබූ බව පොලිසිය තහවුරු කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කොක්කඩිචෝලෙයි, වවුණතිව්, ආයිත්තියමලේ, වෙල්ලාවෙලි සහ මඩකලපුව මූලස්ථාන පොලිසි, විශේෂ අපරාධ විමර්ශන අංශය සහ දිස්ත්‍රික් බුද්ධි අංශය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මෙහෙයුමක් දියත් කර ඇත. සීසීටීවී දර්ශන සහ බුද්ධි තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් සහ අපරාධයට භාවිතා කළ වාහන හඳුනාගැනීමට පොලිසියට හැකි වී තිබේ.
