දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අසීමිත කැපවීමකින් දිවා රෑ නොබලා වෙහෙසෙන දෙමාපියන්ගේ සියලු සිහින සහ බලාපොරොත්තු, එක් මොහොතකින් බිඳ දමන්නට ජංගම දුරකතනයක් තුළ සැඟවී ඇති නොපෙනෙන අනතුරකට හැකි වී තිබේ. කුඩා දරුවන්ගේ ජංගම දුරකතන භාවිතය සීමා කිරීමට ලොව රටවල් රැසක් පියවර ගනිමින් සිටින අවධියක, එහි ඇති බිහිසුණු බලපෑම පිළිබඳ තවත් සංවේදී උදාහරණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ දහසය හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නමැති දක්ෂ පාසල් සිසුවා, පසුගිය 8 වැනිදා අලුයම තම නිවස ලෙස භාවිත කළ කුරුණෑගල උඩවල්පොල පාරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්විය. මෙම සිදුවීම මුළු ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කළේය.
නීතිඥවරයෙකු සහ ගුරුවරියක වන දෙමාපියන්ගේ වැඩිමහල් පුතු වූ සඳරූ, අධ්‍යාපන කුසලතා හේතුවෙන් පාසලේ පන්ති දෙකක් ඉදිරියට උසස් කළ ශිෂ්‍යයෙකි. බාල නැගණියන් දෙදෙනෙකුගේ ආදරණීය අයියා වූ ඔහු, මිය යන දිනයේ උදෑසන බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් කොළඹදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටීමට සූදානම්ව සිටියේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාවකාලිකව එම නිවසට පදිංචියට පැමිණ සිටි දෙමාපියන්ට, විභාග ගමනක් වෙනුවට තම ආදරණීය පුතුගේ අවසන් ගමන සංවිධානය කිරීමට සිදුවීම අතිශය සංවේදී ඉරණමක් බවට පත්විය.
අලුයම 5ට පමණ ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් විසින් සිසුවාගේ සිරුර සොයා ගන්නා විටත්, ඔහු විභාගය සඳහා පාඩම් කරමින් සිටින බවට මව විශ්වාස කර සිටියාය. එහෙත්, ගොඩනැගිල්ලේ ඉහළම විවෘත මහලේ ඔහුගේ පාවහන් යුගල පිළිවෙළට ගලවා තබා තිබූ බව අනාවරණය විය. එම ස්ථානයේ තිබී හමුවූ පියාගේ ජංගම දුරකතනය තුළ අන්තර්ජාල ක්‍රීඩාවක් සක්‍රීයව පැවති බවද විමර්ශනවලදී හෙළි විය.
පොලිස් පරීක්ෂණ සහ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණ අනුව, මවට නොදැනී කාමරයෙන් පිටව ගිය සඳරූ, මිය යාමට පෙර දීර්ඝ කාලයක් එම ක්‍රීඩාවේ නිරතව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අලුයම 3.35ට පමණ ඇසුණු බිහිසුණු ශබ්දයත් සමඟ ඔහු ගොඩනැගිල්ලෙන් පහළට වැටී ඇති බවට සැක කෙරේ.
මෙය සාමාන්‍ය අනතුරක්ද, නැතහොත් අන්තර්ජාල ක්‍රීඩාවක බලපෑමක්ද යන්න පිළිබඳව මේ වනවිට විශාල අවධානයක් යොමු වී ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ, හිසට සහ පපුවට සිදුවූ බරපතළ තුවාල සහ අධික රුධිර වහනය මරණයට හේතු වූ බවයි. කෙසේ වෙතත්, පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අදාළ ජංගම ක්‍රීඩාව දරුවාගේ මනසට බලපෑම් කර ඇතිද යන්න සම්බන්ධයෙනි.
දරුවන්ගේ අතට ජංගම දුරකතනයක් ලබාදීමට පෙර දෙමාපියන් බොහෝ වාරයක් සිතා බැලිය යුතු බව කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා මහතා මරණ පරීක්ෂණයේදී අවධාරණය කළේය. එය නීතිමය ප්‍රකාශයකට වඩා, තාක්ෂණයේ අනතුරුදායක බලපෑම් හමුවේ සිටින නව පරපුර පිළිබඳ මුළු සමාජයටම කරන ලද සංවේදී අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ.