බදුරලිය ප්‍රදේශයේ නිවෙසක් බිඳ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක් ඇති රන් ආභරණ සොරාගත් විශ්වවිද්‍යාල සිසුවියක් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාලව සොරාගත් රන්මාල දෙකක්, අත්පළඳනාවක්, මුද්දක් සහ රන් පංචායුධ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූයේ ගණකාධිකරණ උපාධියක් හදාරන දෙවන වසරේ, වයස අවුරුදු 23ක විශ්වවිද්‍යාල සිසුවියකි.
පොලිස් විමර්ශන අනුව, බදුරලිය මොහොමදිවත්ත ප්‍රදේශයේ ලයින් කාමරයක පදිංචිව සිටි විදේශගතව සිට පැමිණි කාන්තාවකගේ නිවෙස බිඳ මෙම සොරකම සිදුකර ඇත.
සැකකාර තරුණිය එම ලයින් කාමරයේ පදිංචි ඥාති නිවසකට පසුගිය 11 වන දින පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී අදාල නිවසේ රන් ආභරණ පවතින බව දැනගෙන ඇති බව අනාවරණය වී තිබේ.
පැමිණිලිකාර කාන්තාව තම වයෝවෘද්ධ නැන්දම්මා සමඟ බදුරලිය නගරයට යාමට සූදානම්ව, දොර ජනෙල් වසා යතුර නැන්දම්මා අතට භාරදී නිවස පිටුපස ඇති වැසිකිළියට ගොස් ඇත.
ඒ අවස්ථාවේදී සැකකාර තරුණිය වයෝවෘද්ධ කාන්තාව සමඟ කතාබස් කරමින්, ඇයව පහළ පල්ලමකට කැඳවාගෙන යාමෙන් යතුර සූක්ෂමව ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
දහවල් 11.00ත් 2.00ත් අතර කාලයේදී මෙම සොරකම සිදුකර ඇති අතර, සැකකාරිය අසල කැලයක සැඟවී සිට ඥාති නිවසට දුරකථන ඇමතුමක් ලබා දී, තමන්ව ත්‍රීරෝද රථයකින් පැහැරගෙන යන බවට දන්වා ඇත.
ඒ හේතුවෙන් කලබලයට පත් ප්‍රදේශවාසීන් ඇයව සොයා ගැනීමට මාර්ගයට පැමිණ ඇති අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකාරිය පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී අල්මාරිය කඩා රන් ආභරණ සොරාගෙන තිබේ.
පසුව ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී, සැකකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති බව අනාවරණය වූ අතර, එහිදී ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් රන් ආභරණ අතරින් ලක්ෂ 7ක වටිනා රන්මාලයක් උගස් කර තිබූ අතර, ඉතිරි ආභරණ ඇයගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකාර තරුණිය පසුගිය 20 වන දින මතුගම අධිකරණයට ඉදිරිපත් කළ අතර, වරද පිළිගෙන ඇති බැවින් ඇප මත මුදා හැරීමටත්, නඩුව ජූනි 05 දින නැවත කැඳවීමටත් අධිකරණය නියෝග කර ඇත.
මෙම විමර්ශන කටයුතු බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැදිසිංහගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලංග, පොලිස් සැරයන් සමරසිංහ සහ කාන්තා පොලිස් නිලධාරීන් ඉනෝකා සහ ලක්මාලි යන නිලධාරීන් විසින් සිදු කර ඇත.