කොවිඩ් වසංගත සමයේ 2020 වසරේ අතුරුදන් වූ බවට වාර්තා වූ හැටදෙහැවිරිදි අඹුසැමි යුවළකගේ ඝාතනයක් පිළිබඳව වසර හයකට පසු වැදගත් තොරතුරු අනාවරණය කිරීමට පොලීසිය සමත් වී තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් වැල්ලම්පිටිය කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා යන මෙම යුවළගේ සිරුරු කොටස් එම ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදී සොයාගෙන ඇත.
මෙම යුවළ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මුලදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කළද, එවකට කිසිදු සාර්ථක තොරතුරක් හමුවී නොමැත. පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට කළ දැනුම්දීමක් අනුව, පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
විමර්ශන අතරතුර, අතුරුදන් වූ යුවළගේ නිවස අසල පදිංචිව සිටි තවත් අඹුසැමි යුවළකගෙන් සිදුකළ දිගු ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළි වී ඇත. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධ භාවිත කර මෙම යුවළ ඝාතනය කර ඇති අතර, පසුව කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයද කොල්ලකා, සිරුරු කැබලිවලට කපා අසල ඇළ මාර්ගයක වළදමා තිබූ බව සැකකරුවන් පාපොච්චාරණය කර ඇත. තවද, කාලයත් සමඟ සිරුරු කොටස් ජලයට මතු වූ අවස්ථාවලදී ප්‍රධාන සැකකරු ඒවා නැවත වළදමා සඟවා ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට අදාළව අසල්වැසි අඹුසැමි යුවළ සහ ඔවුන්ට ආධාර කළ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පිරිමි සැකකරුවන් දෙදෙනාම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවද හෙළි වී තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අපරාධ ස්ථානයට රැගෙන ගොස් සිදුකළ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුරු කොටස් ගොඩගැනීම සිදුකර ඇත.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන දැනටත් පවත්වාගෙන යයි.