බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ ප්‍රායෝගික පරීක්ෂණයක් අතරතුර රසායනික ද්‍රව්‍ය අඩංගු බීකරයක් හදිසියේ පුපුරා යාමෙන් අනපේක්ෂිත අනතුරක් වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ගුරුවරියක සහ සිසුවියන් දෙදෙනෙකු අද (23) ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 48ක ගුරුවරියක සහ 11 වන ශ්‍රේණියේ, වයස අවුරුදු 16ක සිසුවියන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන් දියතලාව මූලික රෝහල සහ බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පොලිසිය සිදුකළ මූලික විමර්ශන අනුව, 11 වන ශ්‍රේණියේ විද්‍යා පාඩමකට අදාළ පරීක්ෂණයක් සිදු කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත. එහිදී පරීක්ෂණය සඳහා භාවිත කළ කොන්ඩිස් අඩංගු බීකරයක් රත් කරමින් සිටින අතරතුර එය හදිසියේ පුපුරා ගොස් ඇති බව තවදුරටත් හෙළි වී ඇත.