Breaking

Post Top Ad

Wednesday, March 25, 2026

අවුරුදු උත්සවේ පිඹුරා නැටවූ නෙත්මි අත්අඩංගුවට

 කොළඹ කුරුඳුවත්ත රෝයල් මාස් එරීනා පරිශ්‍රයේ පැවති ‘සීජී රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය’ තරගයේදී, ආරක්ෂිත සත්ත්වයක් වන පිඹුරකු ගෙලවටාගෙන නර්තනයක් ඉදිරිපත් කළ තරුණිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න මහත්මිය විසින් ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නෙත්මි හිරන්‍යා නමැති තරගකාරියට එරෙහිවය. සතෙකුට හිංසා කිරීම වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින්, මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඇය පෙර දැනුම් දී තිබුණි. එහෙත්, එම කැඳවීම් නොතකා සිටීම හේතුවෙන් වනජීවී නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලබාගෙන ඇත.


තවද, මෙම තරගයේ සංවිධායකවරයා වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමට අධිකරණය අවසර ලබා දී ඇත.


මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශාල විවාදයක් ඇති කළ අතර, අදාළ තරුණිය පවසන්නේ තමන්ගේ දක්ෂතා සහ සත්වය හැසිරවීමේ නිර්භීතභාවය පෙන්වීමට මෙම නර්තනය ඉදිරිපත් කළ බවයි. එසේම, නීති විරෝධී කටයුත්තක් සිදුවී ඇත්නම් එහි වගකීම තමන් භාරගන්නා බවත්, සංවිධායකවරයාට දෝෂය පැවරීම අවශ්‍ය නොවන බවත් ඇය සඳහන් කර තිබේ.


මෙම සිද්ධියට අදාළව සමාජයේ විවේචන මතු වන්නේ, මෑතකදී පිඹුරෙකු බේරාගෙන ප්‍රතිකාර කළ ලක්ෂාන් මධුශංක නමැති තරුණයෙකුට බලපත්‍ර නොමැතිව සතෙකු තබා ගැනීමේ චෝදනාව මත රුපියල් 50,000ක දඩයක් නියම කිරීමත් සමඟය.


එවැනි තත්වයකදී, සත්වයකු ජීවිතයෙන් බේරාගත් අයෙකුට නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින්, ජනසමාජය ඉදිරියේ සිදුකළ මෙම රංගනයට සම්බන්ධ වීඩියෝව විශාල ප්‍රචාරයක් ලබා ගන්නා තෙක් බලධාරීන් ක්‍රියා නොකළ බවට ජනතාවගෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

Post Top Ad

Pages