Breaking

Post Top Ad

Sunday, March 29, 2026

91 හැවිරිදි කාන්තාවකට ප්‍රහාර දී රන් ආභරණ කොල්ලකා මත්ද්‍රව්‍යයට වියදම් කළ යුවළ දැලේ

 

කටාන, දාගොන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචිව සිටි 91 හැවිරිදි වියෝවෘද්ධ කාන්තාවක් අමානුෂික ලෙස ප්‍රහාරයට ලක්කර ඇය පැළඳ සිටි රන් කරාබු ඇතුළු ආභරණ කොල්ලකෑ බවට චෝදනා ලැබූ අඹුසැමි යුවළක් කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම යුවළ විසින් කොල්ලකන ලද ආභරණ රුපියල් 45,000කට උකස් කර එම මුදලින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන භාවිත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් පසුගිය 26 වනදා මීගමුව දිසා මහ රෝහල ආසන්නයේදී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන ඇත.


පරීක්ෂණවලට අනුව, සැකකරු එම වයෝවෘද්ධ කාන්තාවගේ නිවසට පැමිණ ඇත්තේ වත්තේ පොල් කැඩීමට අවශ්‍යදැයි විමසමින්ය. ඔහු තම බිරිඳද ඒ සඳහා කැඳවාගෙන පැමිණ ඇති අතර, නිවසේ හිමිකාරියගේ අවසරය ලබාගැනීමෙන් අනතුරුව, කාන්තාව වත්ත පහළට ගිය අවස්ථාවේදී දෙදෙනා එක්ව ඇයව ග්‍රහණයට ගෙන ඇත. ඇය කෑගැසීම වැළැක්වීම සඳහා මුඛය රෙදිකඩකින් ගැටගසා බිමට ඇද දමා ඇති අතර, එම සිදුවීමෙන් කාන්තාව සිහිසුන්වී තිබේ.


ඉන් අනතුරුව ඇයගේ රන් ආභරණ ගලවාගෙන සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත. මේ අතර, නිවසේ උඩුමහලේ සිටි මිණිබිරියක් තම මිත්තණිය නොපෙනීම හේතුවෙන් පහළට පැමිණ සොයා බැලීමේදී ඇය වත්තේ සිහිසුන්ව වැටී සිටින බව දැක ඇත. පසුව අසල්වාසීන්ගේ සහාය ඇතිව කාන්තාව වහාම රෝහල්ගත කර තිබේ.


පළමුව මීගමුව රෝහලට ඇතුළත් කළ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි. පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම යුවළේ සැමියා 27 හැවිරිදි වන අතර බිරිඳ 25 හැවිරිදි වියේ පසුවන්නියකි.


කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන සිදුකර ඇති අතර, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරගෙන යයි.

Post Top Ad

Pages