කළුබෝවිල, පීරිස් මාවතේ පිහිටි ‘කෙන්ට් රෙසිඩන්ස්’ මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිටි විදේශීය තරුණියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව කොහුවල පොලීසිය පවසයි. මෙම සිදුවීම අද (23) දින වාර්තා වී ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වන චීන ජාතික කාන්තාවකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, අදාල මහල් නිවාසයට ගොස් කළ සෝදිසි කිරීමේදී මෙම මෘතදේහය සොයාගෙන තිබේ. එමඟින් පොලීසිය වහාම ස්ථානයට පැමිණ මූලික විමර්ශන ආරම්භ කර ඇත.
මේ වනවිට සිදුකර ඇති විමර්ශන අනුව, මෙම ඝාතනයට මියගිය කාන්තාවගේ හිටපු පෙම්වතා සම්බන්ධ විය හැකි බවට දැඩි සැකයක් පවතින බව පොලීසිය සඳහන් කරයි. සැකකරුද චීන ජාතිකයෙකු වන අතර, සිදුවීමෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත.
මෙම අපරාධයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලීසිය විසින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
