Breaking

Post Top Ad

Sunday, March 29, 2026

අවා’ ගේ කල්ලිය පෙම් යුවළකට කඩුවකින් පහරදී ‘දංකොටුවේදී යතුරු පැදිය කොල්ලකාලා

 

දංකොටුව ප්‍රදේශයේදී තරුණයෙකුට සහ ඔහුගේ පෙම්වතියට කඩුවලින් පහර දී තුවාල සිදුකර යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව 22 හැවිරිදි අඹුසැමි යුවළක් හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ පසුගිය 26 වැනිදා සවස වෙන්නප්පුව ලුණුවිල කිරිමැටියාන හන්දිය ප්‍රදේශයේදීය. එම අවස්ථාවේදී සැකකරුවන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 260ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම අඹුසැමි යුවළ ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟවී සිටින ‘දංකොටුවේ අවා’ ලෙස හැඳින්වෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි. අදාළ යතුරුපැදි කොල්ලයද ඔහුගේ මෙහෙයවීම මත සිදු වී ඇති බවට සැක කෙරේ. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


මෙම කොල්ලකෑමට ලක්ව ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතියයි. යතුරුපැදිය විකිණීම සඳහා ඔහු විසින් පළ කළ දැන්වීමකට අනුව, එය මිලදී ගැනීමේ මුවාවෙන් පුද්ගලයෙකු දුරකථනයෙන් සම්බන්ධ වී දංකොටුව කටවෙවිල්ල වැව අසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය 22 වැනිදා රාත්‍රියේදී තරුණයා සහ ඔහුගේ පෙම්වතිය යතුරුපැදි දෙකකින් එම ස්ථානයට පැමිණ ඇත.


එහිදී වැව අසල සැඟවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඩුවලින් පහර දී ඔවුන්ට තුවාල සිදුකර, රුපියල් ලක්ෂ 4යි 28,000ක් පමණ වටිනා යතුරුපැදිය කොල්ලකාගෙන පලාගොස් තිබේ.


තුවාල ලැබූ තරුණයා සහ තරුණිය මේ වන විට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන ඇත.


වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත, හලාවත කොට්ඨාසය සහ දංකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Post Top Ad

Pages