මොරටුවෙන් විශ්මයජනක සිදුවීමක් – මෘත දේහයක රන් ආභරණ සොරකම් කිරීමට සුසාන භූමියක් හාරයි
මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකදී, මෘත දේහයකට පැළඳා තිබූ රන් ආභරණ ලබාගැනීම සඳහා සොහොනක් හාරා බැලූ බවට පුවතක් වාර්තා වී තිබේ.
මෙම සිද්ධියට සුසාන භූමියේ මුරකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බව හෙළිව ඇති අතර, පලා ගිය සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 15 වනදා මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 73ක් වූ කාන්තාවක් මියගොස් ඇති අතර, ඇගේ සත්දින දානය යෙදී තිබූ ඊයේ (22) දින, ඇගේ දියණිය “සුසන් අරම” සුසාන භූමිය වෙත ගොස් මවගේ සොහොනට ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වීමට උත්සාහ කළාය.
එම අවස්ථාවේදී ඇය දැක ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු විසින් තම මවගේ සොහොන හාරමින් සිටින දර්ශනයකි. එය දුටු ඇය හා එහි පැමිණි අනෙකුත් පිරිස කෑගැසීමත් සමඟ සැකකරුවන් කලබලයට පත්ව “වැඩ වැරදුණා” යැයි පවසමින් සුසාන භූමියේ තාප්පයෙන් පැන පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දියණිය විසින් මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් කළ අතර, එම පැමිණිල්ල මත එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ, ඔහු එම සුසාන භූමියේ මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටින බවත්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ එක්ව මෘත දේහයට පැළඳා තිබූ රන් ආභරණ ලබාගැනීමේ අරමුණින් සොහොන හාරා ඇති බවත්ය.
මෙම ක්‍රියාව සිදු කිරීමට පෙර ඔවුන් මත්පැන් පානය කර ඇති අතර, කාන්තාව මියගොස් දින අටක් ගතවී ඇති බවට වැරදි ලෙස විශ්වාස කරමින් ඊයේ (22) දින මෙම කටයුත්ත සඳහා තෝරාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මෘත දේහයට පැළඳා තිබූ ආභරණ සියල්ල රන් ආලේපිත ව්‍යාජ ආභරණ බව දියණිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය රන් ආභරණ සොරකම් කිරීමේ අරමුණින්ද, නැතහොත් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මිනී පෙට්ටිය ලබාගැනීමේ අරමුණින්ද සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටී.
පොලිසියට සැකයක් පවතින්නේ, මෙවැනි ක්‍රියාවන් මොවුන් දිගු කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති විය හැකි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලා ගිය අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
