ඉතා විශාල උසකින් 13 වැනි මහලට පිටතින් ඇති අඟල් කිහිපයක පමණ පටු කොන්ක්‍රීට් තට්ටුවක් මත, ජීවිතයත් මරණයත් අතර සටනක සිරවී සිටින ඔබේ සුරතල් බල්ලා දකින මොහොතේ ඔබට ඇතිවන හැඟීම කුමක්ද? ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නෝදර්න් බීචස් කලාපයේ ඩී වයි (Dee Why) ප්‍රදේශයේ පිහිටි ‘ලයිට්හවුස් බයි මෙරිටන්’ (Lighthouse by Meriton) මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (27) අසන්නට ලැබුණේ එවැනිම හද කම්පා කරවනත්, ත්‍රාසජනකත් වූ කතාවකි.
දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි, වයස අවුරුදු දෙකක් පමණ වන ටෙරියර් වර්ගයට අයත් ‘එල්බී’ (Ellbie) නම් කුඩා සුනඛයා, ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙන් පිටත ඉතා අවදානම් තැනක සිරවී සිටියදී ගිනි නිවන භටයන්ගේ සුවිශේෂී මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි විය.
පසුගිය සති අන්තයේ හදිසියේ අතුරුදන් වූ එම සුරතලා සම්බන්ධයෙන් හිමිකරුත්, ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ද දැඩි කණස්සල්ලකින් පසුවූහ. ආරක්ෂක කැමරා දර්ශනවලින් ඔහු ගොඩනැගිල්ලෙන් පිටව ගිය ආකාරයක් නොපෙනීම නිසා සෙවීම් තවත් සංකීර්ණ වූ අතර, ප්‍රදේශය පුරා අතුරුදන් සුරතලුන් සෙවීමේ දැන්වීම්ද බෙදාහැර තිබිණි.
කෙසේ වෙතත්, මෙම අභිරහස විසඳුණේ සෙවීම් සඳහා යොදාගත් ඩ්‍රෝන කැමරාවක් හේතුවෙනි. සඳුදා දහවල් 1.00ට පමණ, මහපාරට ඉහළින් වූ ජනේලයක පිටත කුඩා ඉඩක ගුලිවී සිටි එල්බීව ඩ්‍රෝන කැමරාවෙන් සොයාගැනීමත් සමඟම බලාපොරොත්තු රහිතව සිටි හිමිකරුට නැවත බලාපොරොත්තුවක් ලැබිණි. වහාම ක්‍රියාත්මක වූ නිව් සවුත් වේල්ස් ගිනි නිවන හා හදිසි මුදාගැනීමේ සේවාව (Fire and Rescue NSW) සහ පොලීසිය එම ස්ථානයට පැමිණියද, ඒ වනවිටත් පහළින් විශාල ජනකායක් රැස්ව සිටියහ.
නමුත් සුනඛයා සිටි ස්ථානයේ ස්වභාවය හේතුවෙන් මුදාගැනීම පහසු එකක් නොවීය. ගිනි නිවන රථ ඉණිමඟක් මඟින් එම උසට ළඟා වීම නොහැකි වූ අතර, ඇතුළතින් ජනේලය විවෘත කිරීමෙන් බියට පත්වූ සුනඛයා පහළට වැටීමේ අවදානමද තිබිණි. එබැවින්, මහල් 17ක ගොඩනැගිල්ලේ වහලයෙන් කඹයක ආධාරයෙන් පහළට බැසීමේ අතිශය අවදානම් මෙහෙයුමක් විශේෂඥ ගිනි නිවන භටයෙකු විසින් සිදු කරන ලදී.
පස්වරු 3.30ට පමණ, කඹයෙන් එල්ලෙමින් එම භටයා සුනඛයා වෙත ළඟා වී ඉතා සැලකිල්ලෙන් එල්බීව ග්‍රහණයට ගෙන, ඇතුළත සිටි අනෙක් භටයන්ට ජනේලය හරහා සුරක්ෂිතව භාර දුන්නේ පහළ රැස්ව සිටි ජනතාවගේ උද්දාමයෙන් පිරුණු ඔල්වරසන් මධ්‍යයේය.
දින ගණනක් කුසගින්නේ, බියෙන් හා අවදානමෙන් සිරවී සිටි කුඩා එල්බීගේ බේරාගැනීමේ කතාව, තාක්ෂණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ මානුෂීය කැපවීම එකට එක්වූ විට ජීවිතයක් කෙතරම් වටිනාද යන්න නැවතත් ලොවටම සිහිපත් කළ තවත් සිදුවීමක් විය.