දශකයකට වැඩි කාලයක් පුරා නිව්යෝර්ක්හි ගිල්ගෝ වෙරළ තීරයේ වැලි කඳු අතර සැඟවී තිබුණේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ අහිංසක කාන්තාවන්ගේ ඛේදජනක කතාවකි.
සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ දීර්ඝ නඩු විභාගයක් වැළැක්වෙමින්, හැට දෙහැවිරිදි රෙක්ස් හියුමන් නම් ‘ගිල්ගෝ බීච්’ දාම ඝාතකයා පසුගිය අප්‍රේල් 8 වැනිදා සෆොක් ප්‍රාන්ත අධිකරණයේදී කාන්තාවන් අට දෙනෙකු ඝාතනය කළ බව නිහඬවම පිළිගත්තේය. 1993 සිට 2010 දක්වා සිදුකළ මෙම ම්ලේච්ඡ ඝාතන මාලාව සම්බන්ධයෙන් වරද පිළිගත් මෑන්හැටන්හි හිටපු ගෘහ නිර්මාණ ශිල්පියාට, සමාව නොලැබෙන ජීවිතාන්ත සිරදඬුවම් කිහිපයක් එකවර විඳීමට සිදුවනු ඇත.
සැන්ඩ්‍රා කොස්ටිලා, කැරන් වර්ගාටා, ජෙසිකා ටේලර්, මොරීන් බ්‍රෙනාඩ්-බාන්ස්, මෙලිසා බාර්තලෙමි, මේගන් වෝටර්මන්, ඇම්බර් ලින් කොස්ටෙලෝ සහ වැලරී මැක් යන නම් හුදෙක් පොලිස් ලිපිගොනු වල සටහන් වූවා පමණක් නොවේ. අන්තර්ජාලය හරහා ගනුදෙනුකරුවන් සොයාගත් මේ කාන්තාවන් සියුම් ලෙස තම දැලට හසුකරගත් ඔහු, කිසිදු අනුකම්පාවකින් තොරව ඔවුන් ඝාතනය කර මළ සිරුරු සාගර මාවත අසල කැලෑවට කුණු කසළ මෙන් විසි කළේය. අධිකරණ ශාලාවේ කිසිදු හැඟීමක් නොපෙන්වමින් ඔහු තම අපරාධ පිළිගනිද්දී, වසර ගණනාවක් පුරා ආදරණීයයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන්ගේ නෙත්වලින් ගලාගියේ වේදනාවත් සමඟ මිශ්‍ර වූ සහනයක කඳුළුය.
දිවා කාලයේ සාර්ථක වෘත්තීයවේදියෙකු සහ ආදර්ශමත් පවුල් මිනිසෙකු ලෙසත්, රාත්‍රියේ භයානක ඝාතකයෙකු ලෙසත් ජීවිතය ගත කළ ඔහුගේ ද්විත්ව ස්වභාවය සමාජයට බිහිසුණු සත්‍යයක් හෙළි කරයි. 2010දී අතුරුදන් වූ තවත් කාන්තාවක් සොයාගෙන යෑමේ මෙහෙයුමකදී අහම්බෙන් මෙම මළ සිරුරු හමුවීමෙන් ආරම්භ වූ විමර්ශනය, 2023 ජූලි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීම දක්වා දිගු විය. ඩීඑන්ඒ සාක්ෂි, ජංගම දුරකථන දත්ත සහ වාහන ලියාපදිංචි තොරතුරු ඔස්සේ පරීක්ෂකයන් ඔහුගේ අපරාධ සැලැස්ම අනාවරණය කර ගැනීම අපරාධ විමර්ශන ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකි.
කාන්තාවන් අට දෙනෙකුගේ ඝාතන සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය අවසන් වුවද, සෆොක් ප්‍රාන්තය පුරා තවමත් සැකයන් ඉතිරිව ඇත. එම ප්‍රදේශයෙන් හමුවූ තවත් මළ සිරුරු කොටස් හතරක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඒවා මෙම නඩුවට සම්බන්ධද යන්න පැහැදිලි වී නොමැත. එෆ්බීඅයි සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු එකඟ වී ඇති බැවින්, තවත් ගොදුරු සිටීද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු වේ.
ගිල්ගෝ වෙරළේදී අහිමි වූ ඒ අහිංසක ජීවිත සඳහා අවසානයේ යුක්තිය ඉටු වී ඇතත්, සමාජය අතර සැඟවී ජීවත්වන මෙවැනි අමනුෂ්‍යයන් පිළිබඳ මතකය, ඒ වෙරළ සුළඟ සමඟ දිගු කාලයක් පුරා රැඳී පවතිනු ඇත.