Breaking

Post Top Ad

Thursday, April 30, 2026

දැරියක අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් අත්අඩංගුවට

 පාසල් දැරියක අපයෝජනයට ලක් කළ බවට ඇති සැකයක් මත, ලග්ගල, බකමූණ සහ නාවුල ප්‍රදේශවල ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගැනීමේදී ඔහු භාවිතා කළ සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.


මෙම සිද්ධිය හෙළිවී ඇත්තේ, කිසිදිනක පෙර එම ගුරුවරයාට දැරියකගේ පියා විසින් පහර දී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමේදී බව පොලිසිය පැවසීය.


ලග්ගල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පතිරාජ වෙත දැරිය විසින් ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් සැක මතු වීමෙන් පසු, සැකකරුගේ සහ දැරියගේ ජංගම දුරකථන පරීක්ෂා කර ඇත.


එහිදී, දැරියගේ අඩනිරුවත් ඡායාරූප ගුරුවරයා සමඟ හුවමාරු වී ඇති බව තහවුරු වීමත් සමඟ, සිද්ධියේ සත්‍ය තත්ත්වය අනාවරණය වී තිබේ.


පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සැකකරු විසින් තම උපකාරක පන්තියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති කිරීමට ඉඩ සලසා දී ඇති බවයි.


තවද, ඔහු දැරියන් නකල්ස් පරිසර පද්ධතිය හා කඳු මුදුන්වල පිහිටි නැරඹුම් ස්ථාන වෙත සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් රැගෙන ගොස්, එම වාහනය තුළදීම අපයෝජනයට ලක් කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියා සිටී.


අපයෝජනයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙම ගුරුවරයා විසින් තවත් දරුවන් අපයෝජනයට ලක් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Post Top Ad

Pages