ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයෙන් කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගමන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 17 ක පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මේ මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය විසිනි. අදාළ කාන්තාවන්ට මත්පානයක් ලබාදී සිහිසුන් කළ පසු සැකකරු විසින් රන් භාණ්ඩ පැහැරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තවද, මෙවැනි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් දිවයිනේ වෙනත් ප්‍රදේශවලද සිදු කර ඇති බවට සැක පළ වන බැවින්, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මුලස්ථාන පොලිසියට නියෝග කර ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සාලියවැව, යාය 07, අල්පෝන්සු ප්‍රනාන්දු මාවතේ පදිංචි පුද්ගලයෙකි.
පොලිසිය පවසන්නේ, අලුත් අවුරුදු සමයේදී අනුරාධපුරයෙන් ඇල්ල මාර්ගයෙන් කොළඹට ධාවනය වූ බස් රථයක පිටුපස අසුනේ මෙම කාන්තාවන් තිදෙනා සහ සැකකරු ගමන් කර ඇති බවයි. තමන් නාවික හමුදා නිලධාරියෙකු ලෙස හඳුන්වා දී ඔවුන් සමඟ හිතවත් වී, පසුව කෙටි ආහාර සහ මත්පානයක් ලබාදී ඇත.
එම පානය පාන කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනා සිහිසුන් වූ අතර, එවිට ඔවුන් පැළඳ සිටි රන් භාණ්ඩ සියල්ල පැහැරගෙන සැකකරු බස් රථයෙන් බැස පලාගොස් ඇත. අනතුරුව සිහිසුන් වූ කාන්තාවන් රෝහල්ගත කර ඇත.
සිසිටීවී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලදී සැක කටයුතු හෝටලයක් පරීක්ෂා කිරීමේදී සැකකරු වෙනත් කාන්තාවක් සමඟ කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
මෙම කාන්තාවන්ට ලබාදී ඇති මත්පානය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට රෝහල මගින් කටයුතු කරමින් පවතින අතර, වැඩිදුර විමර්ශන සිදු කරගෙන යන බව පොලිසිය සඳහන් කරයි.
අදාළ සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. සැකකරු වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොතිබූ බවද වාර්තා වේ.