පුතෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටි පියකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව කොතලකෙමියාව ප්‍රදේශයේ පදිංචි සිව් දරු පියකු වන 58 හැවිරිදි ඒ.එච්.එම්. ධර්මදාස මහතාය.
මියගිය පුද්ගලයාට පුතුන් සිව් දෙනෙකු සිටින අතර, එම පුතුන් අතරින් දෙවැන්නා බව පැවසෙන පුත්‍රයා විසින් ඊයේ (22) රාත්‍රී පියාට අමානුෂික ලෙස පහර දී ඇතැයි කියවේ. එහිදී පියා ඇද වැටී හිස බිම වැදීමෙන් බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශන අනුව, මෙම සිද්ධිය පියා සහ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් පසුබැස නොගොස් බහින්බස්වීමක් දක්වා වර්ධනය වීමෙන් සිදුව ඇති බව අනාවරණය වී ඇත.