Breaking

Post Top Ad

Sunday, April 26, 2026

'ආලෝකා' නමැති සුනඛයා සමඟ ඡායාරූප සහ සෙල්ෆි ගසන්නන් නිසා සාම පාගමනට බාධා

 මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් පළ කළ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළේ, ‘ආලෝකා’ නමැති සුනඛයා සමඟ ඡායාරූප සහ සෙල්ෆි ලබාගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කිරීම හේතුවෙන් සාම පාගමනට දැඩි බාධාකාරී තත්ත්වයක් උද්භව වී ඇති බවයි.


මෙම පාගමනට එක්ව සිටින භික්ෂූන් වහන්සේලාගේ ගමනට බාධා නොවන ලෙස නැවත නැවත අවවාද කළද, කිහිප දෙනෙකු එම උපදෙස් නොසලකා හැරීම හේතුවෙන් සංවිධායක මණ්ඩලය හා භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.


විශේෂයෙන් යූටියුබ් නාලිකා ක්‍රියාකරුවන් ඇතුළු මාධ්‍ය ආවරණය කරන බව පවසමින් පැමිණෙන පිරිස්, පාගමනට බාධා වන ආකාරයෙන් හැසිරෙන බවද ඔහු සඳහන් කළේය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා, සංවිධායක මණ්ඩලයට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භික්ෂූන් වහන්සේලා සමඟ සමාන්තරව ගමන් කිරීමට අවසර නොදීමට මේ වන විට තීරණය කර ඇති බවද කියා සිටියේය.


ඇමරිකා එක්සත් ජනපදයේදී මෙම භික්ෂූන් වහන්සේලා සහ ‘ආලෝකා’ සුනඛයා කිසිදු බාධාවකින් තොරව ගමන් කළද, ශ්‍රී ලංකාවේදී ජනතාව සමීපව හෝ පිටුපසින් සමාන්තරව ගමන් කිරීමට උත්සාහ කිරීම පාගමනට බරපතළ කරදරයක් වී ඇති බව ඔහු අවධාරණය කළේය.


කෙසේ වෙතත්, මාර්ග දෙපස රැඳී සිටිමින් කෙසෙල් කොළ අතුරා වන්දනාමාන කිරීම සඳහා ජනතාවට කිසිදු බාධාවක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය. එහෙත්, මෙවැනි හැසිරීම් හේතුවෙන් පාගමනේ කාලසටහනටද බලපෑම් එල්ල වී ඇති අතර, දඹුල්ල සිට නාවුල දක්වා ගමනේදී සැලසුම් කර තිබූ දහවල් දානය ප්‍රමාදවීම නිසා, නියමිත ස්ථානයට කිලෝමීටර් 8කට පමණ පෙර පූජා කිරීමට සිදුවූ බවද හෙළි විය.


මේ අතර, ‘ආලෝකා’ සුනඛයාට සුළු අසනීප තත්ත්වයක් පවතින අතර, ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශය විසින් ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙන බව වාර්තා වේ. එවැනි තත්ත්වයක පවා ඇතැමුන් සුනඛයා සමඟ සෙල්ෆි ලබාගැනීමට උත්සාහ කරන බව පොලීසිය සඳහන් කරයි.


මෙම සාම පාගමනේ අරමුණ සාර්ථක කර ගැනීමට ජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බවද, එය නොලැබේ නම් භික්ෂූන් වහන්සේලාගේ අරමුණ ඉටු කරගැනීම දුෂ්කර වනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Top Ad

Pages