දින කිහිපයක සිට අතුරුදහන්ව සිටි හෝටල් සේවකයෙකුගේ මළ සිරුරක් අද (06) නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොම්මඩ් මුසාම්මිල් නමැති 75 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා නුවරඑළිය නගරයේ ආපනශාලා කිහිපයක සේවය කර ඇති අයෙකු බවයි. ඔහු පසුගිය 27 වැනිදා සිට අතුරුදහන්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු හුවමාරු වී තිබූ බව වාර්තා වේ.
සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.