Breaking

Post Top Ad

Monday, April 6, 2026

විෂ මිශ්‍ර කළ කුකුළු මස් ආහාරයට දීමෙන් ඝාතනය වූ බලු සුරතලා

 විෂ මිශ්‍ර කළ ආහාර හේතුවෙන් තම ආදරණීය සුරතල් බල්ලා අහිමි වූ පසු, වසර තුනකට අධික කාලයක් තනිවම යුක්තිය සඳහා සටන් කළ චීන කාන්තාවක් පිළිබඳ කතාබහක් මේ වනවිට ප්‍රචලිත වී තිබේ.


සිය සුරතලාට යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණින්, ඇය තම රැකියාවද අත්හැර නීතිය හැදෑරීමට පියවර ගෙන තිබීම මෙම සිද්ධියේ විශේෂත්වයකි.


චීනයේ බීජිං නගරයේ පදිංචි ලී යිහාන් නමැති මෙම කාන්තාවගේ “පැපී” නමින් හැඳින්වූ සුදු පැහැති වෙස්ට් හයිලන්ඩ් ටෙරියර් වර්ගයේ බල්ලා 2022 වසරේදී විෂ දීමක් හේතුවෙන් මියගොස් ඇත.


වසර 13ක් පුරා තම දරුවකු ලෙස සුරකින ලද සුරතලාගේ මරණය තමන්ට දැඩි වේදනාවක් බව ඇය පවසයි. ඇය පදිංචි නිවාස සංකීර්ණයේ ළමා උද්‍යානයක දමා තිබූ විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට ගැනීමෙන් එම බල්ලා මියගොස් ඇති අතර, එම දිනයේම තවත් සුරතල් බල්ලන් 11 දෙනෙකුටද වස ශරීරගත වී, ඉන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු විසින් සෝඩියම් ෆ්ලෝරෝඇසිටේට් නමැති ඉතා විෂ සහිත ද්‍රව්‍යයක් මස් කැබලිවලට මිශ්‍ර කර උද්‍යානයේ තබා ඇති බවයි. චීනය තුළ සත්ව හිංසනයට එරෙහිව දැඩි නීති නොමැති වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කටුක කාර්යයක් වූ බවද ඇය පෙන්වා දෙයි.


එම තත්ත්වය හමුවේ, ලී යිහාන් සිය රැකියාවෙන් ඉල්ලා අස්වී වසර තුනක් පුරා සිවිල් හා අපරාධ නීති පිළිබඳව ස්වයං අධ්‍යයනයක නිරත වූවාය.


අවසානයේ ඇය විසින් එම සැකකරුට එරෙහිව පුද්ගලික අපරාධ නඩුවක් සහ සිවිල් නඩුවක් ගොනු කිරීමට හැකිවී ඇත. අනෙක් වින්දිතයන්ට නීතිඥයන් සේවයට ගැනීම අපහසු වූ බැවින්, ඔවුන් වෙනුවෙන්ද ඇය අධිකරණයේ පෙනී සිටියාය.


“පැපී මියයන විට අත්විඳි වේදනාව මට අමතක කළ නොහැකියි. ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මගේ එකම අරමුණයි,” යනුවෙන් ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.


අදාළ පුද්ගලයාට අවසානයේ සිවු වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

Post Top Ad

Pages