Breaking

Post Top Ad

Tuesday, April 7, 2026

NDB බැංකුවට සේවක වංචාවක් නිසා බිලියන 13.2ක අලාභයක්

 

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් හෙළිවූ මූල්‍ය වංචාවක් හේතුවෙන්, එම බැංකුවට රුපියල් බිලියන 13.2ක පමණ විශාල අලාභයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වන්නේ, අදාළ අලාභය වාර්තා වුවද, NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් හෝ තැන්පතු සඳහා කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව බැංකුව විසින් තහවුරු කර ඇති බවයි.


NDB බැංකුවෙන් ලබාදුන් තොරතුරු මත පදනම්ව, මහ බැංකුව මේ වන විට මූලික මූල්‍ය ඇගයීමක්ද සිදු කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම අලාභය තිබුණද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය සහ ද්‍රවශීලතා මට්ටම් තවදුරටත් අවම නියාමන අවශ්‍යතා ඉක්මවා පවතින බවයි.


මහ බැංකුව පවසන්නේ, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවත්, අවශ්‍ය වුවහොත් ඉදිරියේදී සුදුසු පියවර ගැනීමට සූදානමින් සිටින බවත්ය.


තවද, පවත්නා නීතිමය ප්‍රතිපාදන සහ ක්‍රමවේදයන් යටතේ, අවශ්‍යතාවයක් මතුවුවහොත් මහ බැංකුව සතු තාවකාලික ද්‍රවශීලතා පහසුකම් ලබා ගැනීමට NDB බැංකුවට හැකියාව පවතින බවද එම නිල නිවේදනයේ සඳහන් වේ.


බැංකුව අභ්‍යන්තරයේ සිදුවූ මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය සහ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් බැංකුවේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව පූර්ණ අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.

Post Top Ad

Pages