පාදුක්ක, මලගල ප්‍රදේශයේ කැලෑ රොදක් තුළ අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ දැඩි ලෙස නරක් වූ මළ සිරුරක් පසුගිය 03 වැනිදා දහවල් සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 467 මලගල ග්‍රාම නිලධාරී වසමට අයත් අංක 171, මලගල, පාදුක්ක ලිපිනයේ පදිංචිව සිටි 61 හැවිරිදි රූපසිහගේ කිත්සිරි ගාමිණී මහතාය.
ඔහු එක්දරු පියෙකු වන අතර, බිරිඳ මීට වසර ගණනාවකට පෙර ඔහුගෙන් වෙන්ව ගොස් ඇති බවත්, එකම පුත්‍රයා මේ වන විට විවාහ වී වෙනම ජීවත් වන බවත් වාර්තා වේ.
විවිධ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය ඔහු දෛනිකව කසිප්පු පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහු නිරන්තරයෙන්ම නිවසින් බැහැරව කාලය ගත කරන පුද්ගලයෙකු වූ බැවින්, දින කිහිපයක් නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය මුලදී විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ඔහු පිළිබඳව යම් ආරංචියක් ලැබුණද, මෙවර දින පහකට අධික කාලයක් ගතවීත් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන්, ඔහු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස නිවැසියන් අසල්වැසියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබී ඇත.
එම ඉල්ලීම පිළිබඳව දැනුවත්ව සිටි පවුලේ ඥාතිවරියක් රබර් කිරි කැපීම සඳහා කැලෑවක් හරහා ගමන් කරමින් සිටියදී ප්‍රදේශයෙන් දැඩි දුර්ගන්ධයක් වහනය වන බවට නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව අවට සෝදිසි කිරීමේදී වන ලැහැබ තුළ තිබී මෙම මළ සිරුර ඇයට හමුවී ඇත.
මියගිය පුද්ගලයා නිතර අඳිනු ලැබූ කමිසය හඳුනාගැනීමෙන්, එය අතුරුදන්ව සිටි කිත්සිරි ගාමිණී මහතාගේ සිරුර බවට ඇය සැක පළ කර තිබේ. ඉන් අනතුරුව ඇය වහාම මේ පිළිබඳව නිවැසියන්ට දැනුම් දී ඇති අතර, පවුලේ ඥාතීන් එම ස්ථානයට පැමිණ සිරුර ඔහුගේ බවට තහවුරු කරගැනීමෙන් පසු පාදුක්ක පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.