Breaking

Post Top Ad

Tuesday, April 7, 2026

නිවසක පිටුපස හොරෙන් නිධන් හෑරූ කාන්තාවක් අත්අඩංගුවට

 අගලවත්ත, හැලඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස රහසිගතව නිධන් හෑරීමේ නිරතව සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු මතුගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම වැටලීම පසුගිය 04 වැනිදා සිදු කර ඇති අතර, සැකකරුවන් නිධන් හෑරීම සඳහා භාවිත කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.


මතුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උදයංග මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


අත්අඩංගුවට පත් වූ පිරිස අතර අගලවත්ත, හැලඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ බුලත්සිංහල, මහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිටින බවද අනාවරණය වී ඇත.


සැකකරුවන් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදු කරමින් සිටියදීම පොලිසිය විසින් ඔවුන් කොටුකරගෙන තිබේ. එහිදී ඔවුන් සතුව තිබී ජල මෝටරයක්, ගල් පිපිරවීමට භාවිත කරන විද්‍යුත් ඩෙටනේටර් පහක්, වෙඩි බෙහෙත් සහ විවිධ ප්‍රමාණයේ වයර් තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.


මීට අමතරව, ගල් විදින කටු, අලවංගු, උදලු සහ ප්ලාස්ටික් තාවුච් ඇතුළු තවත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති සමන් රෝහණ මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උදයංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages