බරපතළ ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු කරමින් භික්ෂූන් වහන්සේ නමකට අවිස්සාවේල්ල මහාධිකරණය විසින් නියම කර තිබූ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ වන්දි ගෙවීමේ නියෝගය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
මෙම නඩුවට අදාළව අපයෝජනයට ලක් වූ බව කියන බාලවයස්කාර දරුවා ලබා දුන් සාක්ෂි අතර බරපතළ පරස්පරතා පවතින බව අධිකරණය පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් එම සාක්ෂි විශ්වාසනීය නොවන බවට නිගමනය කළ ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව නීත්‍යානුකූලව පවත්වාගෙන යා නොහැකි බව ප්‍රකාශ කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් සීතාවක සොරත හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණේ 2016 වසරේ මාර්තු මාසයේදී විහාරස්ථාන නේවාසික පරිශ්‍රය තුළදී 13 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ බවටය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් උන්වහන්සේ වරදකරු කරමින් සිරදඬුවම් සහ වන්දි නියෝග නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් දරුවා අධිකරණයේදී ලබා දුන් සාක්ෂි සහ මීට පෙර පොලිසියට හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) ලබා දී තිබූ ප්‍රකාශ අතර සැලකිය යුතු වෙනස්කම් පවතින බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් අභියාචනා විභාගයේදී පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම සිද්ධියේ මූලික පසුබිම සම්බන්ධයෙන් පවා දරුවා වෙනස් ප්‍රකාශ ලබා දී තිබීම, චෝදනාවේ විශ්වාසනීයත්වය පිළිබඳව බරපතළ සැකයක් මතු කරන බව අධිකරණය සඳහන් කළේය.
එමෙන්ම, එකම සිද්ධියක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී එකිනෙකට පරස්පර සාක්ෂි ලබා දෙන තනි සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශ මත පමණක් පදනම්ව පුද්ගලයෙකු වරදකරු කිරීම නීතිමය වශයෙන් පිළිගත නොහැකි බව ද අභියාචනාධිකරණය අවධාරණය කළේය.
ඒ අනුව සීතාවක සොරත හිමියන්ට නියම කර තිබූ වසර 10ක සිරදඬුවම සහ වන්දි නියෝගය සම්පූර්ණයෙන් අවලංගු කළ අභියාචනාධිකරණය, එම තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස අවිස්සාවේල්ල මහාධිකරණයට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.