මොනරාගල පොලිස් බලප්‍රදේශයට අයත් මිල්ල කැලේවත්ත පාලාරුව ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, මිල්ල කැලේවත්ත බිබිල පාර ප්‍රදේශයේ පදිංචි උලගනාදන් දිලීප් මදුශංක නමැති පුද්ගලයෙකි.
පොලිස් මූලික විමර්ශනවලට අනුව, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව අනාවරණය වී ඇත.
තුවාල ලැබූ මදුශංක මහතා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුද බරපතළ තුවාල ලබා මේ වනවිට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.