සිංගප්පූරු සත්වෝද්‍යානයට අයත් මැන්ඩායි වනජීවී සමූහය තුළ ඉතිහාසගත සිදුවීමක් ලෙස, කෘත්‍රිම සිංචනය සහ සිසේරියන් සැත්කමක් හරහා උපත ලැබූ පළමු ඔරංඔටන් පැටවා ලෙස ‘අයාන්’ ලොව අවධානය දිනාගෙන තිබේ. අරාබි භාෂාවෙන් “ආශිර්වාදය” යන අරුත ලබාදෙන මෙම පැටවාගේ මව වන්නේ සිංගප්පූරු සත්වෝද්‍යානයේ ජනප්‍රිය ඔරංඔටන් සත්වයෙකු වූ ආ මෙන්ග්ගේ මිණිබිරිය වන 29 හැවිරිදි චෝමෙල්ය. පියා ලෙස හඳුන්වන්නේ 48 හැවිරිදි සුමාත්‍රානු ඔරංඔටන් සත්වයෙකු වන චාලියි.
මැන්ඩායි වනජීවී සමූහයේ පශු වෛද්‍ය සේවා සහ විද්‍යාත්මක වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය උප සභාපති හෙං යිරුයි මහතා සඳහන් කළේ, කෘත්‍රිම සිංචනයක්, ‘ප්ලැසෙන්ටා ප්‍රේවියා’ නම් ගර්භණී සංකූලතාවයක් සහ සාර්ථක සිසේරියන් සැත්කමක් යන කරුණු තුනම එකවර සම්බන්ධ වූ ලොව ප්‍රථම ඔරංඔටන් උපත මෙය බවයි.
ලෝක වනජීවී අරමුදලට අනුව, වර්තමානයේ වනගතව ජීවත් වන්නේ සුමාත්‍රානු ඔරංඔටන් සතුන් 13,800කට අඩු සංඛ්‍යාවක් පමණි. දැඩි වඳවී යාමේ අවදානමට ලක්ව ඇති මෙම විශේෂයේ ජානමය විවිධත්වය ආරක්ෂා කිරීම සත්වෝද්‍යාන බලධාරීන්ගේ ප්‍රධාන අරමුණක් වී තිබුණි. විශේෂයෙන්ම, චාලි කිසිදු පැටවෙකු බිහිකර නොතිබූ නිසා ඔහුගේ දුර්ලභ ජානමය උරුමය රැක ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව, 2018 වසරේදී චාලි සහ චෝමෙල් එකිනෙකාට හඳුන්වා දුන්නද, චාලිගේ උනන්දුව අඩුවීම හේතුවෙන් ස්වභාවික ප්‍රජනනය සාර්ථක නොවීය. පසුව සත්ව ආරක්ෂණ කණ්ඩායම වෛද්‍ය තාක්ෂණයේ සහාය ලබා ගැනීමට තීරණය කළ අතර, 2022 මැයි මාසයේදී ආරම්භ කළ කෘත්‍රිම සිංචන උත්සාහයන් අතර තෙවන උත්සාහය සාර්ථක වී චෝමෙල් ගැබ්ගෙන ඇති බව තහවුරු විය.
සාමාන්‍යයෙන් ඔරංඔටන් සත්වයෙකුගේ ගර්භණී කාලය මාස අටහමාරක් පමණ වේ. චෝමෙල්ගේ ගැබිනි සමය මුලදී සාමාන්‍ය පරිදි ගතවූවත්, පසුව ඇය රුධිර වහනය වීමේ තත්ත්වයකට මුහුණ දුන්නාය. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ මගින් ඇයට ‘ප්ලැසෙන්ටා ප්‍රේවියා’ නම් අවදානම් තත්ත්වය ඇති බව හඳුනාගැනුණි. මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය දරු ප්‍රසූතියක් මවටත් පැටවාටත් මාරාන්තික විය හැකි බව වෛද්‍යවරුන් නිගමනය කළහ.
ඒ අනුව, මානව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසව හා නවජ වෛද්‍ය විශේෂඥයින්ගේ සහායද ඇතිව මාර්තු 18 වනදා සාමාන්‍ය නිර්වින්දනය යටතේ සිසේරියන් සැත්කමක් සිදු කෙරිණි. මිනිත්තු 20ක පමණ කාලයක් ගතවූ මෙම සැත්කමෙන් පසු උදෑසන 9.45ට කිලෝග්‍රෑම් 1.6ක් බරැති අයාන් මෙලොව එළිය දුටුවේය.
කෙසේ වෙතත්, උපත ලබන අවස්ථාවේදී අයාන්ගේ සිරුර සුදුමැලි නිල් පැහැයක් ගෙන තිබූ අතර, කිසිදු හැඬීමක් හෝ ප්‍රතිචාරයක් නොදක්වා දුර්වල හෘද ස්පන්දනයක් පමණක් පැවති බව සඳහන් වේ. වෛද්‍ය කණ්ඩායමේ දැඩි උත්සාහය හේතුවෙන් මිනිත්තු හතකට පමණ පසු අයාන් සිය පළමු හුස්ම ගනිමින් යථා තත්ත්වයට පත්වීමට ආරම්භ කළ බව සත්ව ආරක්ෂණ භාරකරු වෙන්ඩි චුවා මහත්මිය පැවසුවාය.
මේ වන විට චෝමෙල් සහ අයාන් දෙදෙනාම පූර්ණ සුවයෙන් පසුවන අතර, චෝමෙල් තම පැටවාට අමතරව තවත් ඔරංඔටන් පැටවෙකුටද කිරි දෙන බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. අයාන් සහ චෝමෙල් මහජනතාවට ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත්තේ මැයි 20 වනදා සිට සිංගප්පූරු සත්වෝද්‍යානයේදීය.