Breaking

Post Top Ad

Sunday, May 3, 2026

බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල අපයෝජනයට ලක් කිරීමේ වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

 මොණරාගල මහාධිකරණයේ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත.


මෙලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ, 70 හන්දිය, බිල්ඩින් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුවරයෙකුටය. 2015 වසරේදී ඔහු එම ප්‍රදේශයේම කුඩා පිරිමි දරුවෙකු බයිසිකලයේ නංවාගෙන වැව් කණ්ඩිය අසල කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් අපයෝජනය සිදු කළ බවට නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.


දිගු කාලයක් පුරා මොණරාගල මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා දෙකම සම්බන්ධයෙන් වරදකරු බව ප්‍රකාශ කළේය.


එක් එක් චෝදනාවට වසර 12 බැගින් වසර 24ක සිරදඬුවම් නියම කළද, ඒවා එකවර ක්‍රියාත්මක වන පරිදි වසර 12ක කාලයක් තුළ සිරදඬුවම ගෙවී යාමට අධිකරණය නියෝග කළේය.


සිරදඬුවමට අමතරව, එක් එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් රජයට ගෙවීමටත්, අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමටත් නියෝග කර ඇත.


නියම කළ දඩ මුදල් ගෙවීම අසමත් වුවහොත් වසරක ලිහිල් සිරදඬුවමක්ද, වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් වසර තුනක ලිහිල් සිරදඬුවමක්ද අතිරේකව විඳීමට සිදු වන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

Post Top Ad

Pages