Breaking

Post Top Ad

Monday, May 25, 2026

සොරා ගත් යතුරුපැදිවලින් ගොස් ලක්ෂ 80ක් වටිනා රන් මාල 18 ක් කොල්ලකාල

 බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සොරාගත් යතුරුපැදි භාවිතා කරමින් රුපියල් ලක්ෂ 80කට ආසන්න වටිනාකමකින් යුතු රන්මාල 18ක් කොල්ලකෑ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිසිය සඳහන් කළේ, කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදි දෙක සහ කොල්ලකන ලද රන්මාල 18 ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි. එමෙන්ම, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 800ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු බවද අනාවරණය වී තිබෙනවා.


පසුගිය මාස තුනක කාලය තුළ මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ ප්‍රදේශවලදී ස්කුටර් වර්ගයේ යතුරුපැදිවලින් ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණා.


මෙම කොල්ලකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් ක්‍රිෂාන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබෙනවා.


හෝමාගම රෝහල ආසන්නයේ අපරාධ වැළැක්වීමේ රාජකාරියේ නිරතව සිටියදී, ජීප් රථයක් යොදාගෙන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.


මූලික ප්‍රශ්න කිරීම්වලදී, ඔහු භාවිතා කළ එක් යතුරුපැදියක් පසුගිය මාර්තු 10 වැනිදා මහරගම පිළිකා රෝහල අසලින් සොරාගත් බව හෙළි වී තිබෙනවා.


එමෙන්ම, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් තවත් යතුරුපැදියක් සොරාගෙන තිබූ බවත්, එම යතුරුපැදියද පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

Post Top Ad

Pages