පාකිස්තානයේ ක්වෙටා නගරයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එම අවස්ථාවේදී මගීන් රැගත් දුම්රියක් එම මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ බවද සඳහන් වේ.
මෙම පිපිරීමෙන් 82කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.
පිපිරීමේ දැඩි බලපෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රියේ මැදිරි කිහිපයකටද විශාල හානි සිදුවී තිබේ. තුවාල ලැබූවන් කඩිනමින් ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කර ඇත.
සිද්ධියෙන් අනතුරුව ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක බබාර් යූසුෆ්සායි ප්‍රකාශ කර ඇත්තේ, ක්වෙටා නගරයේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ආරක්ෂක, බුද්ධි හා සහන සේවා අංශ උපරිම සූදානමකින් ක්‍රියාත්මක කර ඇති බවය.
මෙම ප්‍රහාරයේ වගකීම බලොච් විමුක්ති හමුදාව නමැති සන්නද්ධ කණ්ඩායම විසින් භාරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.