අම්බලන්තොට ප්‍රදේශයෙන් අතිශය බිහිසුණු ඝාතනයක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ. මීට පෙර සිදු වූ ත්‍රිත්ව ඝාතන සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන් කර මාමඩල හංදියේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුව අසල තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු ඊයේ (12) අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල යාය 11 ප්‍රදේශයේ පදිංචි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් හෙවත් “පොඩී” නමින් හඳුන්වනු ලැබූ 39 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
පොලිස් විමර්ශන අනුව, සඳුදා රාත්‍රියේ ඔහු නිවසේ සිටියදී ගිනි අවි සහ මන්නා පිහිවලින් සන්නද්ධ වූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට කඩා වැදී ප්‍රහාරය එල්ල කර තිබේ. එහිදී ඔහුට වෙඩි තබා මන්නා පිහිවලින් පහරදී හිස වෙන් කර ඇති බව සඳහන් වේ. ප්‍රහාරයෙන් ඔහුගේ මාමණ්ඩිය ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බරපතළ තුවාල ලබා සිටි ලක්මාල් සඳරුවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. සැකකරුවන් විසින් රැගෙන ගිය හිස කොටස නිවසේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි හංදියේ ප්‍රතිමාව අසල දමා පලාගොස් තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය සඳරුවන් 2025 පෙබරවාරි 02 වැනිදා අම්බලන්තොට මාමඩල නැගෙනහිර බැවිනියන්වල ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි අයෙකි. එම සිද්ධියේදී එච්.ඒ.පී. ඉන්දික (29), එම්.ඩබ්ලිව්. මල්ලවආරච්චි (34) සහ එච්.කේ.ආර්. ප්‍රියදර්ශන (45) යන තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, මෙම නවතම ඝාතනය එම සිද්ධියට පළිගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.