Breaking

Post Top Ad

Saturday, May 9, 2026

දෙනියායේ පැතිර යන රෝගය හඳුනා ගැනේ

 

දෙනියාය ප්‍රදේශයේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.


ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට රෝගය වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් නොපවතින බැවින් ජනතාව අනවශ්‍ය භීතියකට පත්විය යුතු නොවන බවයි.


මෙම වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තාව අද දිනයේ ලැබීමට නියමිත බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්. ජී.එස්. පණ්ඩිතරත්න ප්‍රකාශ කළේය.


ඔහු සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් ඊයේ දෙනියාය ප්‍රදේශයට පැමිණ රෝගය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ සහ විමර්ශන සිදුකළ බවයි.


රෝගීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල් කරාපිටිය රෝහල වෙත යොමුකර සිදුකළ පර්යේෂණවලදී, මෙම වෛරසය මිනිස් ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව බහුලව හමුවන වෛරස් කාණ්ඩයකට අයත් බව අනාවරණය වී තිබේ.


අපිරිසිදු ජලය සහ ආහාර මගින් මෙම වෛරසය ශරීරයට ඇතුළුවීමේ වැඩි අවදානමක් පවතින බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.


මේ අතර, වෛරස් උණ රෝගය හේතුවෙන් වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ලබන සඳුදා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.


ඊයේ සහ පෙරේදා දිනවල දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා නිවාඩු ලබාදී තිබුණි.

Post Top Ad

Pages