Breaking

Post Top Ad

Saturday, May 9, 2026

අස්වැසුම දීමනාව වැරදිලා දෙපාරක් ගෙවලා


 අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා දෙවරක් ගෙවා ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ගවල පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.


එම නිවේදනයේ සඳහන් වන්නේ, පසුගිය අප්‍රේල් මාසයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය සැලකිල්ලට ගනිමින් ප්‍රතිලාභීන්ට දීමනා කඩිනමින් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ වූ බවයි. ඒ අනුව, පළමු සහ දෙවන අදියරේ සියලු ප්‍රතිලාභීන්ට අදාළ මුදල් 2026 අප්‍රේල් 10 වැනිදාට පෙර ලබාදීමට පියවර ගෙන තිබුණි.


තවද, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ දීමනාවක් ලබාදීමටද රජය තීරණය කර තිබූ බව මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 7,500ක්, දුප්පත් කාණ්ඩයට රුපියල් 5,000ක් සහ අවදානමට ලක්වූ පවුල් සඳහා රුපියල් 2,500ක මුදලක් ලබාදීමට නියමිතව තිබුණි.


කෙසේ වෙතත්, ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය හරහා මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් නොතිබීම හේතුවෙන්, මෙම විශේෂ දීමනාව පද්ධතියෙන් පිටත සකස් කළ ගොනු මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇත.


එම හදිසි ගෙවීම් සඳහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර, ලිපිගොනු 90,000ක ධාරිතාවයෙන් යුත් SLIP ගොනු ලෙස ලංකා බැංකු පද්ධතියට උඩුගත කර තිබූ අතර, එහිදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් එක් ගොනුවක් දෙවරක් පද්ධතියට ඇතුළත් වී ඇති බව අනාවරණය වී ඇත.


ඒ හේතුවෙන් ‘දුප්පත්’ කාණ්ඩයේ ප්‍රතිලාභීන් පිරිසකට ද්විත්ව ගෙවීම් සිදුවී ඇති අතර, එම දෝෂය හඳුනාගත් වහාම අදාළ ගෙවීම් නතර කිරීමටත්, බැංකු වෙත දැනුම්දී එම මුදල් මණ්ඩලයේ ගිණුම් වෙත නැවත බැර කරවා ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කඩිනමින් පියවර ගෙන තිබේ.

කෙසේ නමුත්, ගෙවීම් අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු විසින් රුපියල් 248,795,000ක මුදලක් සිය ගිණුම්වලින් ලබාගෙන තිබීම හේතුවෙන්, එම මුදල් බැංකු මගින් නැවත අයකර ගැනීමට නොහැකි වී ඇත.


ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන් අමතරව ලබාගත් මුදල ලබන මැයි මාසයේ අස්වැසුම දීමනාවෙන් අඩුකර ගැනීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව මණ්ඩලය අවධාරණය කරයි.


මෙම සිදුවීම හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය අලාභයක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී නොමැති බවත්, සේවා අවශ්‍යතා මත කඩිනම් ගෙවීම් සිදු කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පමණක් මෙම තත්ත්වය උද්ගත වූ බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post Top Ad

Pages