අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි විවිධ ආබාධ සහිත පුද්ගලයන් රඳවා සිටි “සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයන් 14 දෙනා අතරින් නව දෙනෙකුගේ දේහයන් මෙතෙක් කිසිදු ඥාතියෙකු විසින් භාරගෙන නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙම කරුණු හෙළිදරව් වූයේ ඊයේ (11) හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඉදිරියේ පැවති නඩු විභාගයේදීය. මියගිය අනෙකුත් පස් දෙනාගේ දේහයන් භාරගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් වී ඇති බවද එහිදී සඳහන් විය.
අදාළ රැඳවුම් මධ්‍යස්ථානය නිසි ආරක්ෂක ක්‍රමවේදවලින් තොරව හා අනාරක්ෂිත අයුරින් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි 38 හැවිරිදි ඉසුරු අනුෂ්ක නමැති සැකකරු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සමාජ මාධ්‍යයේ “ලොකු අයියා” නමින් ප්‍රසිද්ධ මෙම සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම වූ අතර, ඔහුට විදේශගත වීමද තහනම් කර ඇත. නඩු විභාගය සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ Skype තාක්ෂණය ඔස්සේය.
ගින්න හටගත් අවස්ථාවේදී රැඳවුම් මධ්‍යස්ථානයේ දොරවල් සහ ජනේල ඉබි යතුරු දමා වසා තිබූ බැවින් එහි සිටි පිරිස් බේරාගැනීම දැඩි අභියෝගයක් වූ බව අඟුරුවාතොට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම, ගින්න පිළිබඳව පොලිසියට හෝ ගිනි නිවන අංශ වෙත දැනුම්දීමට සැකකරු පියවර ගෙන නොමැති බවත්, ඒ වෙනුවට ගින්න වීඩියෝගත කර සිය ටික්ටොක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය හෙළි කළේය.
මෙම ගිනි අනතුරින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. එම අවස්ථාවේදී රැඳවියන් 51 දෙනෙකු ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වී තිබේ.
අධිකරණයේදී අනාවරණය වූ තවත් කරුණක් වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විවිධ සමාජ සේවා සංවිධානවල නිල ලිපි යොමුකිරීම් මත මෙම ආයතනය වෙත රැඳවියන් ඇතුළත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නඩුව ලබන ජූනි 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.