Breaking

Post Top Ad

Thursday, June 4, 2026

හොරණ වැඩිහිටි නිවාසයක ගින්නක් - 11 දෙනෙක් මරුට

 හොරණ, මිල්ලනිය බටගොඩ ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අද (03) පස්වරුවේ ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.


මානසික ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වැඩිහිටියන් රැඳී සිටි "සෙනෙහසේ කැදැල්ල" නමැති මෙම ආයතනයේ ගින්න හටගත් අවස්ථාවේදී කාන්තා හා පිරිමි නේවාසිකයින් 70කට ආසන්න පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

මූලික විමර්ශන අනුව, මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනා වයස හා සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ගින්නෙන් බේරී යාමට නොහැකිව සිටි බවට සැක කෙරේ. ඇතැම් පිරිස් තමන් රැඳී සිටි ස්ථානවලදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


ගින්න අතරතුර සිදුකළ කඩිනම් මෙහෙයුමකින් නේවාසිකයින් 45 දෙනෙකු පමණ ආරක්ෂිතව ඉවත් කිරීමට හැකි වී ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූ තවත් හත් දෙනෙකු ගල්පාත ප්‍රාදේශීය රෝහල සහ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ගින්න වේගයෙන් පැතිර යාමට හේතුව ලෙස ආයතනය තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇත. එම පිපිරීමත් සමඟ ගින්න පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබූ බව වාර්තා වේ.


හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ තුනක්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය හදිසි අනතුරක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


එසේම, මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කිරීමේ කටයුතුද මේ වන විට සිදුකෙරෙමින් පවතී.


ජීවිතයේ අවසන් කාලය සාමකාමීව ගත කිරීමට පැමිණි වැඩිහිටියන් පිරිසකට මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වීම රටම කම්පාවට පත් කළ ඛේදනීය සිදුවීමක් බවට පත්ව ඇත.

Post Top Ad

Pages