කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත, නිකදළුපොත ප්‍රදේශයෙන් පසුගිය 30 වැනිදා උදෑසන වාර්තා වූ ඛේදජනක සිදුවීමකදී කාන්තාවක් ඝාතනය කර පසුව සැකකාර පුරුෂයා සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නිකදළුපොත ගැටකුළුලන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දෙදරු මවක වන සෝමලතා මහත්මිය සහ ඇය සමඟ සබඳතාවක් පැවැත්වූ බව කියන 40 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන ජයතිස්ස නැමැත්තෙකි.
පොලිස් පරීක්ෂණවලට අනුව, මියගිය කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා වසර කිහිපයකට පෙර ඇය අතහැර ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඇය සහ සැකකරු අතර වසර දහයකට ආසන්න කාලයක් ප්‍රේම සබඳතාවක් පැවති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මෑත කාලයේදී කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ නව සම්බන්ධතාවක් ආරම්භ කර තිබීම හේතුවෙන් දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. ඔවුන්ගේ නිවාස එකිනෙකට ආසන්නව පිහිටා තිබීම නිසා මෙම ආරවුල් නිතරම ඇතිව තිබූ බවද වාර්තා වේ. එමෙන්ම, මෙම සබඳතාවට පුරුෂයාගේ පවුලේ සාමාජිකයන්ගෙන්ද විරෝධයක් එල්ල වී තිබූ බව සඳහන් වේ.
වෙසක් පෝය දින අලුයම සිදුවූ මෙම අපරාධයේදී, සැකකරු කාන්තාවගේ නිවසට පැමිණ ඇය නින්දේ සිටියදී ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය අවස්ථාවේ නිවසේ රැඳී සිටි ඥාතීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ද තුවාල ලබා ඇත.
කාන්තාව ඝාතනය කිරීමෙන් පසු සිය නිවස වෙත ගොස් ඇති සැකකරු, නිවස ඉදිරිපිටදී සියදිවි හානිකරගෙන තිබේ. ඔහු විසින් සියදිවි නසාගැනීමට පෙර ලියන ලද බව කියන ලිපියක් පොලිසිය සොයාගෙන ඇති අතර, අපරාධය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථාන පරීක්ෂාවක් සිදුකර මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම ද සිදුකර ඇත. විමර්ශන කටයුතු සඳහා වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.