හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි හා රැකවරණ මධ්‍යස්ථානයේ හටගත් විනාශකාරී ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය බදාදා (03) පස්වරුවේ හටගත් මෙම ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. ගින්නෙන් නිකුත් වූ අධික දුම ආඝ්‍රාණය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම රැකවරණ මධ්‍යස්ථානයේ වැඩිහිටියන්ට අමතරව මානසික සෞඛ්‍ය ගැටලු සහිත තරුණයින් පිරිසක්ද රඳවා සිට ඇති අතර, මියගිය පුද්ගලයින් අතර 17 හැවිරිදි තරුණයෙකු ද සිටින බව පොලිසිය තහවුරු කර ඇත.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති ආයතනයේ හිමිකරු වන ඉසුරු අනුෂ්ක හෙවත් “ලොකු අයියා” බ්‍රහස්පතින්දා දිනයේදී පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර තිබිණි. අධිකරණයේදී අනාවරණය වූයේ මෙම ආයතනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිල අවසර කිසිවක් ලබාගෙන නොතිබූ අතර, අදාළ නියාමන ආයතන විසින් නියම කර ඇති අවම ප්‍රමිතීන් ද සපුරා නොතිබූ බවයි.
එමෙන්ම, මෙම නිවාසයේ නේවාසිකයින් සඳහා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ නාමයෙන් අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, එහි රැඳී සිටි පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කර ආධාර සහ අනුග්‍රහ ලබාගැනීමේ කටයුතු සිදුකර ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
ගින්න පාලනය කිරීම සඳහා සහන සේවා කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයක නිරත වූ අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ද ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මූලික සාක්ෂි අනුව මෙට්ට තොගයක් ගබඩා කර තිබූ කාමරයකින් ගින්න ආරම්භ වන්නට ඇති බවට සැක පළ කෙරේ.
ගින්නෙන් බේරාගත් නේවාසිකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 51 දෙනෙකු ආසන්නයේ පිහිටි රජයේ පාසලක් වෙත ආරක්ෂිතව යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වූට්ලර් මහතා සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.