Breaking

Post Top Ad

Tuesday, June 9, 2026

දස හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළ හිමිනමකට වසර 24ක සිරදඬුවමක්

 අධ්‍යාපනය සඳහා මව්පියන් විසින් විහාරස්ථානයකට භාරදී තිබූ දස හැවිරිදි පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බවට වරදකරු වූ ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමකට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීරණය කර තිබේ.


මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ළමා අපරාධ සම්බන්ධ නඩු විභාග කළ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා විසිනි.


විත්තිකාර හිමිනමට එල්ල වී තිබූ අධිචෝදනා දෙකට වෙන වෙනම වසර 12 බැගින් සිරදඬුවම් නියම කර ඇති අතර, එම දඬුවම් එකිනෙකට අනුක්‍රමිකව ක්‍රියාත්මක වන පරිදි නියම කර තිබේ. එමෙන්ම වින්දිත දරුවාට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇත.


වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් අමතර වසර දෙකක සිරදඬුවමක් ද, රුපියල් 3,000ක දඩ මුදලක් ද නියම කර තිබේ. දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.


අදාළ අපරාධය 2015 වසරේ මැයි මස 1 වැනිදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලී චෛත්‍යාරාම විහාරස්ථානයේදී සිදුව ඇති බව අධිකරණයේදී අනාවරණය විය.


නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය යටතේ එවකට 40 හැවිරිදි වියේ පසුවූ විහාරාධිපති හිමිනමට එරෙහිව නඩු පවරා තිබුණි.


පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චමික ගුරුගේ මහතා පෙනී සිටි අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් සහ වින්දිත දරුවා ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබුණි.


නඩු විභාගය අතරතුර විත්තිකරු දිගින් දිගටම අධිකරණය මඟහැර සැඟව සිටීම හේතුවෙන්, ඔහු නොමැතිව නඩුව විභාග කර තීන්දුව ලබාදීමට අධිකරණය පියවර ගෙන ඇත.


තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයේදීද විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි බැවින්, ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගලෙන්බිඳුණුවැව පොලිසිය වෙත විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.


අධිකරණ විභාගයේදී තවදුරටත් අනාවරණය වූයේ, මෙම හිමිනම ගිහි ජීවිතයේදී ද නිවාස බිඳීම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වරදකරු වී අත්හිටවූ සිරදඬුවම් ලබා සිටි පුද්ගලයෙකු බවයි.

Post Top Ad

Pages