Breaking

Post Top Ad

Tuesday, June 9, 2026

සැමියා විසින් බිරි­දගේ සිරු­රට පෙට්‍රල් දමා ගිනි තියලා

 මැදගම පොලිස් වසමට අයත් ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ පදිංචි 40 හැවිරිදි සිව්දරු මවක වූ රිනොෂා උම්මා ඊයේ (07) අලුයම සිදුවූ ඛේදජනක සිදුවීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.


පොලිස් තොරතුරු අනුව, ඇයගේ සැමියා විසින් සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තැබූ බවට සැක කෙරෙන අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


සිද්ධියට පෙර රාත්‍රියේ පවුලේ සාමාජිකයන් සමඟ ආහාර ගත් මෙම යුවළ එකම කාමරයක නිදා සිට ඇති අතර දරුවන් වෙනත් කාමරයක රැඳී සිට තිබේ. අලුයම් කාලයේදී එම කාමරයෙන් ගින්නක් හටගෙන ඇති බව දුටු දරුවන් වහාම දොර විවෘත කර බැලීමේදී සිය මව ගින්නට මැදිව සිටින අයුරු දැක තිබේ.


දරුවන් සහ අසල්වැසියන් එක්ව ගින්න නිවා දමා කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කළද, ඇයගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මියගිය කාන්තාවගේ සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.


කුකුළු මස් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම අපරාධයට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.


සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය බිබිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

Post Top Ad

Pages