Breaking

Post Top Ad

Tuesday, June 9, 2026

දියේ ගිලුණු සහෝදරියන් දෙදෙනා බේරගන්න දියට පැන්න සහෝදරයා ඇතුළු තිදෙනාම මරු​ට

 

නොරොච්චෝල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළ ඔවුන්ගේ සහෝදරයා ද ඇතුළුව තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මොහොමඩ් රිම්සාන් ෆාතිමා රික්සානා, 17 හැවිරිදි මොහොමඩ් රිම්සාන් ෆාතිමා සහරා සහ 25 හැවිරිදි මොහොමඩ් උසාම් යන සහෝදර සහෝදරියන් තිදෙනාය.


මියගිය රික්සානා මද්‍රසා ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර, සහරා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවියකි. උසාම් සිංගප්පූරුවේ රැකියාවක නිරතව සිටි අතර, නිවාඩුවක් සඳහා මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය දරුවන්ගේ පියා වන ආරුමුගම් රම්සාන් මහතා සඳහන් කළේ, ඥාතීන් සමඟ වාර්ෂිකව සංවිධානය කරන විනෝද චාරිකාවකදී මෙම අනතුර සිදුවූ බවයි. දහවල් ආහාරයෙන් අනතුරුව පිරිස මුහුදේ දිය නෑමට එක්ව ඇති අතර, ජලයේ ගැඹුර දණහිස මට්ටමේ තිබූ බැවින් දරුවන්ටද දියට බැසීමට අවසර දී තිබේ.


කෙසේ වෙතත්, හදිසියේ සහෝදරියන් දෙදෙනා දියේ ගිලෙන්නට පටන් ගෙන ඇති අතර, ඔවුන්ගේ කෑගැසීම ඇසී සහෝදරයා වූ උසාම් ඔවුන් බේරා ගැනීමට වහාම දියට පැන තිබේ. එහෙත්, අවාසනාවන්ත ලෙස ඔහුද ප්‍රබල ජල පහරට හසුවී දියේ ගිලී ගොස් ඇත.


දරුවන් බේරා ගැනීම සඳහා තමන්ද දියට පැන උත්සාහ කළද, රළු මුහුදු රළ සහ ජල පහර හේතුවෙන් ඔවුන් ගොඩට රැගෙන ඒමට නොහැකි වූ බව පියා දැඩි සංවේගයෙන් ප්‍රකාශ කර තිබේ.


වාර්තා වන පරිදි, උසාම් යළිත් සිය විදෙස් රැකියාව සඳහා පිටත්ව යාමට තිබුණේ තවත් දින පහකින් පමණි. එහෙත් ඔහු සිය නිවාඩුව තවත් සති කිහිපයකින් දීර්ඝ කරගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.


සිද්ධියට සාක්ෂි දැරූ පිරිස පවසන්නේ, එම ස්ථානයේ අනතුරුදායක බව දැක්වෙන කිසිදු අනතුරු ඇඟවීමේ පුවරුවක් සවිකර නොතිබූ බවයි. එවැනි අනතුරු ඇඟවීමක් තිබුණේ නම් කිසිවෙකුත් එම ස්ථානයේ දිය නෑමට නොපැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි.


පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂක බදුර්දීන් මොහොමඩ් හිෂාම් මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර 15ක පමණ කාලය තුළ මෙම ස්ථානයේ දියේ ගිලීමෙන් සිදුවූ මරණ 20කට ආසන්න සංඛ්‍යාවක මරණ පරීක්ෂණ තමා විසින් සිදුකර ඇති බවයි. එසේ වුවද, අද දක්වාම එම ස්ථානයේ අනතුරු ඇඟවීමේ නාමපුවරු සවිකර නොතිබීම කනගාටුවට කරුණක් බව ඔහු අවධාරණය කළේය.


මියගිය තරුණ තරුණියන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Top Ad

Pages