Breaking

Post Top Ad

Friday, June 5, 2026

ධීවරයින් පිරිසකට මෝර ප්‍රහාරයක් එක් අයෙක් අතුරුදන්

 

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි පිරිසක් මෝර ප්‍රහාරයකට ලක්වීමෙන් එක් ධීවරයෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව අදාළ බහුදින යාත්‍රාවේ හිමිකරු පවසයි.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහවැව ප්‍රදේශයේ පදිංචි, 26 හැවිරිදි විවාහකයෙකු වන මනෝජ් දිල්රුවන් පීටර්සන් මහතා බව සඳහන් වේ.


ඔහු වෙන්නප්පුව වෙල්ලමංකරේ ධීවර වරායෙන් පසුගිය අප්‍රේල් 24 වැනිදා මුහුදු ගිය “සංජන පුතා 13” බහුදින ධීවර යාත්‍රාවේ සේවය කළ ධීවර කාර්මිකයෙකි.


යාත්‍රාවේ ප්‍රධාන ක්‍රියාකරු ඇතුළු ධීවරයින් හත් දෙනෙකු සේවයේ නිරතව සිට ඇති අතර, පසුගිය මැයි 30 වැනිදා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව තිබේ.


වාර්තා වන අන්දමට ධීවරයින් විසින් දැවැන්ත මෝරෙකු අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෝරාගේ ප්‍රහාරයට එක් ධීවරයෙකු ලක්ව ඇති අතර, ඔහුගේ අතේ එක් ඇඟිල්ලක් මෝරා විසින් කා දැමූ බව සඳහන් වේ.


ඒ අතරතුර මෝරා දැලෙන් ගැලවී නැවත මුහුදට පැන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඇති වූ කලබලකාරී තත්ත්වය සහ තෙරපීම හේතුවෙන් මනෝජ් දිල්රුවන් පීටර්සන් මහතා නොසිතූ ලෙස යාත්‍රාවෙන් මුහුදට වැටී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.


අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Post Top Ad

Pages