Breaking

Post Top Ad

Friday, June 5, 2026

රු.කෝටි 3.5ක හොරණ මහජන බැංකුවේ ATM කොල්ලය

 

හොරණ නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවකින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ අනෙකුත් ශාඛා සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන් වූ සිද්ධිය සම්බන්ධයෙන් බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් තොරතුරු අනුව, මෙම සිදුවීම පසුගිය 03 වැනිදා පස්වරු 2.45ත් 2.55ත් අතර කාලයේදී වාර්තා වී ඇත. රුපියල් පන්දහසේ නෝට්ටු ලෙස සකස් කළ මුදල්, බැංකුවේ ලාංඡනය සහිත රෙදි මලු දෙකක බහා, පිටුපස දොරටුව අසල නවතා තිබූ වාහනයක් වෙත රැගෙන යන අතරතුර එය කොල්ලකෑ බවට මුලින් වාර්තා වී තිබුණි.


බැංකු පාර්ශ්වය පොලිසියට දැනුම් දී තිබුණේ, ආරක්ෂක නිලධාරියා අත්සන් තැබීමේ කටයුත්තක නිරතව සිටියදී පා ගමනින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මුදල් මලු දෙක උදුරාගෙන පලාගිය බවයි.


කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී සැක මතු වූ කරුණු රැසක් අනාවරණය වී තිබේ. බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබාගැනීම CCTV කැමරා මගින් සටහන් වී තිබුණද, මුදල් රැගෙන යාම සිදු වූ පිටුපස දොරටුව හා අවට ප්‍රදේශය කිසිදු කැමරා ආවරණයකට ලක්ව නොතිබූ බව හෙළි වී ඇත. එමෙන්ම මුදල් රැගෙන පලාගිය බව කියන පුද්ගලයා කිසිදු ආරක්ෂක කැමරාවක සටහන් වී නොතිබීම ද විමර්ශකයන්ගේ අවධානයට ලක්ව තිබුණි.


මේ හේතුවෙන්, මෙම සිද්ධිය සැලසුම් සහගත අභ්‍යන්තර වංචාවක් විය හැකි බවට පොලිසිය මුල සිටම සැක පළ කර තිබුණි.


පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විමර්ශන කටයුතු බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර, ඒ අනුව සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹට රැගෙන ගොස් තිබේ.


එහිදී ලැබුණු තොරතුරු සහ සාක්ෂි මත, මෙම මුදල් වංචාවට ඔවුන් දෙදෙනාගේ සෘජු සම්බන්ධතාවක් ඇති බව අනාවරණය වීමෙන් පසු සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.


විමර්ශන අතරතුර එක් සැකකරුවෙකු සතුව තිබී රුපියල් කෝටි 1.7ක මුදලක් සොයාගෙන ඇති අතර, මීට අමතරව බැංකුවේ ගබඩා කාමරයක තිබී අනන්‍යතාව තහවුරු කර නොමැති රුපියල් ලක්ෂ 17ක මුදලක් ද සොයාගෙන තිබේ.


මෙම මුදල් ප්‍රමාණයන් සහ කොල්ලකන ලද මුදල් අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි.

Post Top Ad

Pages