Breaking

Post Top Ad

Friday, June 5, 2026

සුළඟ හේතුවෙන් වැටුණු කොස් ගෙඩියක් නාසයේ ගැටී අසාධ්‍යව සිටි පුද්ගලයෙක් මරුට

 දැඩි සුළං තත්ත්වයක් අතරතුර ගසකින් කඩා වැටුණු කොස් ගෙඩියක් නාසයේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තිදරු පියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, වතුර දික්හේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ගල්පොත්ත ගමගේ රත්නායක මහතාය. ඔහු පාසල් වියේ පසුවන දරුවෙකු ඇතුළුව පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ වසර දෙකහමාරක පමණ කාලයක සිට විදේශගතව රැකියාවක නිරතව සිටින බව වාර්තා වේ.


පොලිස් පරීක්ෂණ අනුව, රත්නායක මහතා සිය නිවසේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටි අලපලාවල වඩුපොළ ගම්මානයේ පදිංචි හිතවතෙකුගේ නිවසට නිතර යන එන අයෙකි. ඉකුත් 25 වැනිදා අලුයමද ඔහු එම නිවසට ගොස් ඇති අතර, එහිදී තවත් අසල්වැසි හිතවතුන් දෙදෙනෙකුද එක්ව සිට ඇත.


එදින ඔවුන් සියලු දෙනා එක්ව කුකුල් කොටුවක් පිරිසිදු කිරීමෙන් අනතුරුව, ඇඟපත සෝදා ගැනීම සඳහා නිවසට පහළින් පිහිටි ඇළ මාර්ගයක් වෙත ගොස් තිබේ.


එම අවස්ථාවේදී වැසි සහිත කාලගුණයත් සමඟ හදිසියේම දැඩි සුළඟක් හමා ගොස් ඇති අතර, කුකුල් කොටුවේ හිමිකරු තම කොටුව දෙසට දිව ගොස් තිබේ. අනෙක් පිරිසද නිවස දෙසට යමින් සිටියදී, රත්නායක මහතා තනිවම ගමන් කළ මොහොතක අඩි 100කට ආසන්න උසකින් යුත් ගසකින් කඩා වැටුණු කොස් ගෙඩියක් පළමුව ගලක වැදී, ඉන් පසු ඔහුගේ නාසයේ ගැටී ඇත.


එම ප්‍රහාරයෙන් සමබරතාව ගිලිහී ගිය රත්නායක මහතා බිම ඇද වැටී ඇති අතර, ඔහුගේ හිස පිටුපස ගලක ගැටීමෙන් බරපතළ තුවාල සිදුව තිබේ.


අනතුරුව ඔහුව ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදිනම මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය පළමුවැනිදා පස්වරුවේ ඔහු ජීවිතක්ෂයට පත්විය.


මෘත දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 02 වැනිදා මහනුවර ජාතික රෝහලේදී පැවැත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post Top Ad

Pages