හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවති රොටි දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් මතට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ කැබ් රථයක් දන්සල අසල පෝලිමේ සිටි පිරිස අතරට කඩා වැදී ඇත. අනතුරෙන් පසු රථය නොනවත්වා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර, එම අවස්ථාවේදී හය දෙනෙකු මියගොස් සිටි බව තහවුරු වී ඇත.
මියගිය අය අතර වයස අවුරුදු 15, 32 සහ 56 යන වයස්වල කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 35ත් 38ත් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වෙති. මියගිය කාන්තාවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර, පිරිමි පුද්ගලයින් හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මෙම මරණකරුවන් අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ ස්වාමිපුරුෂයාගේ මව ද, පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ද සිටින බව අනාවරණය වී තිබේ.
අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුර සිදුකර පලාගිය කැබ් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වහාම මෙහෙයුම් ආරම්භ කර තිබේ. ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් විසින් ගිනි අවි පෙන්වා සැකකාර රියදුරා ගොඩගම හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.