හුංගම කළමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු අද (31) පෙරවරුවේ කළමැටිය පැරණි මාදැල් ධීවර තොටුපළ ආසන්නයෙන් ගොඩගසා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ හුංගම තුඩුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජී. හසිඳු කැලුම් (19) සහ ආර්.පී. කුෂාන් දිලුක්ෂ (13) යන දෙදෙනාගේ සිරුරු බව හඳුනාගෙන ඇත.
අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා මෙතෙක් නොහැකි වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙසක් පෝය දිනය වූ ඊයේ (30) පස්වරුවේ මෙම දරුවන් පවුලේ වැඩිහිටියන් සමඟ කළමැටිය මුහුදේ දිය නෑමට ගොස් ඇති බවයි. එහිදී කච්චිගල් ආර මෝය කට ආසන්න ප්‍රදේශයේ දිය නාමින් සිටියදී ඔවුන් මුහුදු රළට හසුවී ගසාගෙන ගොස් ඇත.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු සඳහන් කළේ පුද්ගලයන් සිව්දෙනකු රළට හසුවූ අතර, එක් අයකු ආරක්ෂිතව ගොඩට පැමිණීමට සමත් වූ නමුත් අනෙක් තිදෙනා මුහුදේ ගැඹුරු ප්‍රදේශය දෙසට වේගයෙන් ගසාගෙන ගිය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.