ජංගම දුරකථනයක් ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිය නැගණිය ඝාතනය කළ බවට සැක කෙරෙන 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඒරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඒරාවුර් වෙට්ටුවෙල් හෙවත් අධිකරණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සත්නාදන් සත්තිසා නමැති 11 හැවිරිදි දැරියකි.
පොලිස් විමර්ශන අනුව, දරුවන්ගේ මව විදේශ රැකියාවක නිරතව සිටින අතර, පසුගිය 28 වැනිදා සිද්ධිය සිදුවන අවස්ථාවේදී පියාද රැකියාව සඳහා නිවසින් බැහැරව සිට ඇත. එම කාලයේ නිවසේ තනිව සිටි සහෝදරයා සහ නැගණිය අතර ජංගම දුරකථනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිවී තිබේ.
සැකකාර සිසුවා ටික්ටොක් වීඩියෝ නැරඹීම සඳහා නැගණිය සතු ජංගම දුරකථනය ඉල්ලා ඇති අතර, ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ආරවුල උග්‍ර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් කෝපයට පත් වූ සහෝදරයා දැරියට පහර දී ගෙල සිරකර ඇති බවත්, අනතුරුව ඇයගේ සිරුර නිවසේ නානකාමරයේ පිහිටි ජල ටැංකියකට දමා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධියෙන් අනතුරුව ඔහු අසල්වැසි නිවසකට ගොස් සාමාන්‍ය පරිදි හැසිරී ඇති බවද වාර්තා වේ.
පසුව රැකියාව නිමවා නිවසට පැමිණි පියා දරුවන් පිළිබඳ සොයා බැලීමේදී ජල ටැංකිය තුළ සිටි දියණිය හමුවී ඇති අතර, වහාම ඇය රෝහල්ගත කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
අනතුරුව පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර සිසුවා සිය නැගණිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, දැරියගේ මරණය ගෙල සිරකිරීම හේතුවෙන් සිදුවූවක්ද, නැතහොත් ජල ටැංකියට දැමීමෙන් අනතුරුව සිදුවූවක්ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා මෘත දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.