මෙම අනතුර ඊයේ (9) පෙරවරු 6.57ට පමණ ජාඇල, කපුවත්ත සහ කඳාන දුම්රිය ස්ථාන අතර පිහිටි හල්පේන දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ ඥාතීන් වන නැන්දම්මා සහ බෑනා බව කඳාන පොලිසිය අනාවරණය කරයි. ඒ අනුව, ත්‍රිරෝද රථය පදවාගෙන ගිය 52 හැවිරිදි ලියනාරච්චිගේ දොන් නීල් ලක්ෂ්මන් මහතා සහ එහි ගමන් ගත් 71 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ ඊටා මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය කාන්තාව ජාඇල, ඒකල ප්‍රදේශයේ පදිංචිකාරියක බව ද සඳහන් වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා සහ අනතුරු ඇඟවීමේ සීනු ක්‍රියාත්මක වෙමින් තිබියදීත්, දුම්රිය ළඟා වෙමින් තිබෙන බව පෙනී යන අවස්ථාවේ රියදුරු ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගයට ඇතුළු කර ඇති බවයි. ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී සැක පළ කෙරේ.
අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කිරීමට උත්සාහ කළද, ඔවුන් එම ස්ථානයේදීම මියගොස් සිටි බව තහවුරු වී ඇත.
කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.ඒ. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මියගිය දෙදෙනාගේ දේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.