මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මාසයකට ආසන්න කාලයක් පුරා සිදු කළ පුළුල් බුද්ධි විමර්ශනයකින් අනතුරුව, ඇමෙරිකානු ඩොලර් හත් ලක්ෂයක ව්‍යාජ මුදල් තොගයක් සමඟ 54 හැවිරිදි කාන්තාවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ ඩොලර් සියයේ නෝට්ටු 7,000කින් සමන්විත මෙම තොගය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම ව්‍යාජ විදේශීය මුදල් තොගය විය හැකි බවයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 21ත් 26ත් අතර වන බවද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් කාන්තාව කොටිකාවත්ත මීගහවත්ත පාරේ පදිංචිකාරියක වන අතර, ඇය මීට පෙර කොළඹ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලා කිහිපයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විමර්ශන අංශ සැක පළ කරන්නේ පාකිස්තානු ජාතිකයෙකු හරහා ඇය මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි. අදාළ පුද්ගලයා විසින් ව්‍යාජ ඩොලර් නෝට්ටු පාකිස්තානයේදී ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කර ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
වෙළෙඳපොළේ ඩොලරයක වටිනාකම රුපියල් 340 ඉක්මවා තිබියදී, මෙම කාන්තාව ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරමින් ඩොලරයක් රුපියල් 284ක පමණ අඩු මිලකට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මුලින් සැබෑ ඩොලර් නෝට්ටු කිහිපයක් ලබා දී, පසුව විශාල වශයෙන් ව්‍යාජ නෝට්ටු ලබාදීම ඇය භාවිත කළ ප්‍රධාන උපක්‍රමය බවද අනාවරණය වී ඇත.
මෙම ජාවාරම පිටුපස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් හෝ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලියක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩායම් විසින් තැන්පතු හෝ “Show Money” ලෙස පෙන්වීම සඳහා මෙවැනි ව්‍යාජ නෝට්ටු භාවිත කරන බවටද තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
බලධාරීන් සැක පළ කරන්නේ මෙම කාන්තාව හරහා ව්‍යාජ ඩොලර් ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයක් රත්තරන් සහ මැණික් මිලදී ගැනීම් ඇතුළු ගනුදෙනු සඳහා වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති පාකිස්තානු ජාතිකයා රාත්‍රී සමාජ ශාලා සහ කැසිනෝ පරිශ්‍රවල නිතර ගැවසෙන අයෙකු බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවට විශ්වාස කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේද අවධානය යොමුවී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.
මීට පෙරද ව්‍යාජ විදේශීය මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ සිද්ධීන් කිහිපයක් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. 2013 වසරේදී ව්‍යාජ ඉන්දියානු රුපියල් සමඟ පාකිස්තානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීම, මෑතකදී ගාල්ල ප්‍රදේශයේදී ව්‍යාජ ඩොලර් සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම ඇතුළු සිදුවීම් රැසක් වාර්තා වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වංචාවට ලක්වූ පුද්ගලයන් හෝ ව්‍යාපාරිකයන් සිටී නම් වහාම පොලිසියට පැමිණිලි කරන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.